ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම ටියුෂන් ගුරුවරයෙකු වන යෝෂිත හෙට්ටිආරච්චි ගේ ආචාර්‍ය උපාධිය සම්බන්ධයෙන් සහ ඔහු විසින් සිදු කරන ලද ළමා අපචාරයන් සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා ලෙස පැමිණිල්ලක් සිදුකර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (10) මෙම පැමිණිල්ල ගොනුකර සිටියේ ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය වෙනුවෙන් නීතිවේදි නිරාෂාන් විතානගේ ඇතුළු පිරිසක් විසිනි.
මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් නීතිවේදි නිරාෂාන් විතානගේ පවසා සිටියේ ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම ටියුෂන් ගුරුවරයකු වන යෝෂිත හෙට්ටිආරච්චි ” ආචාර්ය” උපාධි ලාභියෙකු ලෙස පෙනී සිටියද ඔහුගේ මූලික උපාධිය ලෙස පවා ඉදිරිපත් කර ඇත්තේ කූඨ ලේඛනයක් බවයි.
ඒ සම්බන්ධව වන ප්‍රබල සාක්ෂිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් යෝෂිත හෙට්ටිආරච්චි ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව තොරතුරු ඉල්ලා යොමුකළ විමසීමකට අදාළව ලිඛිතව ලබාදී ඇති බවත්, එම කූඨ ලෙස සකස් කළ උපාධි සහතිකය මෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නිකුත්කළ ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවද නීතීඥ නිරාෂාන් විතානගේ සඳහන් කළේය .
එසේම “මේ ආණ්ඩුව ගෙනාවෙත් අපි රකින්නෙත් අපි” කියමින් සමාජ මාධ්‍ය තුළ පොරටෝක් දෙන මෙම තැනැත්තා ළමා ආරක්ෂණය පිළිබඳව විශ්වීය ප්‍රඥප්ති, ගිවිසුම් උල්ලංඝනය කරමින් හිංසනයේ යෙදෙන වීඩියෝ පට අදාළ තැනැත්තාගේම සමාජ මාධ්‍ය තුළ වීඩියෝ ලෙස ප්‍රසිද්ධ කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් නීතීඥ නිරාෂාන් විතානගේ පවසා සිටියේ ඒ සම්බන්ධව තමන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කල බවයි.
ජනාධිපතිවරයාගේ,අග්‍රාමාත්‍යතුමියගේ හා අමාත්‍යවරුන් සමඟ ජායාරූපයන්ට පෙනී සිටිමින් ඔවුන් සමඟ සමීප සබඳතාවයක් ඇති බවට දක්වමින් ඔවුන්ගේ නම් අවභාවිතා කිරීම ගැන අවධානය යොමු කරන ලෙසද,අප විසින් ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමියට අවධාරණය කර සිටින බවද නීතීඥ නිරාෂාන් විතානගේ පවසා සිටියේ ය.
නිතර දරුවන් සහ කාන්තාවන් ගැන කතා කරන අග්‍රාමාත්‍යවරියට ඒ සම්බන්ධව සැබෑ සහකම්පනයක් ඇතැයි තමන් විශ්වාස කරන බවත් එබැවින් අදාළ පුද්ගලයාට එරෙහිව පියවර ගැනීම වෙනුවෙන් අවශ්‍ය මූලික පියවර , CID ය වෙත පැමිණිලි කරමින් සිදුකර ඇති නිසා ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට අග්‍රාමාත්‍යවරිය මැදිහත්වීම අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.