ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය ඔස්සේ, මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.
ඒ අනුව ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේ නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම සඳහාය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ (28) ප්‍රකාශ කළේ තමන් අද (01) සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ තෙල් බෙදුම්කරුවන් ගේ මෙම තීරණය හේතුවෙන් රට තුළ කිසි ලෙසකින් ඉන්ධන අර්බුදයක් ඇති නොවන බවයි.
ඒ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මෙසේ පවසයි.
“පළවෙනි ලෝඩ් 15ට 6.96ක් දෙනවා. ඊළඟ ලෝඩ් 15ට 6.62යි. දැන් එයාලා කියන්නේ ලෝඩ් 25ක් විතර කරන අයලු වැඩිපුර ඉන්නේ. ඒ අයට දැනටත් ආදායම ලැබෙන්නේ ලක්ෂ 10ක් විතරලු. එකෙන් වැටුප් ගෙව්වට පස්සේ දැනුත් ජීවත්වෙන්න බෑ කියලා.
අපි හඳුන්වාදෙන එකේ හැටියට ලෝඩ් 25ක් කරන කෙනෙක්ට 6.69ක් ලැබෙනවා. එතකොට එකොළොස් ලක්ෂ 3,850ක් ලැබෙනවා”.
මේ සම්බන්ධව අදහස් දක්වමින් විචාරකයන් පවසන්නේ පෙර ගෙවූ මුදලට වඩා වැඩි මුදලක් බෙදුම්කරුවන් වෙත ලැබෙනවා නම් ජනතාව පීඩාවට පත්වන ආකාරයේ හදිසි තීරණ නොගෙන බෙදුම්කරුවන් සමඟ සාකච්ඡා කර කරුණු කියාදී නව ක්‍රමය හඳුන්වා දීමට තිබූ බවයි.
එසේ නොකර තෙල් සංස්ථාව ජනාධිපතිවරයා පවා හෑල්ලුවට ලක්වන ආකාරයට හැසිරීම ගැටළු සහගත බවද ඔවුන් පවසයි.
කෙසේ වුවත් මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන හල් ඉදිරිපිට පෝලිම් නිර්මාණය වී තිබෙන බව වාර්තා වෙයි.