ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගම වන එල්.ටී.එල් හෝල්ඩින්ග්ස් සමාගම, සියලු පුරවැසියන්ගේ ජීවන තත්වයන් උසස් කිරීම පිණිස සමාජීය, ආර්ථික සහ පාරිසරික වශයෙන් ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන සමඟ එක්ව “දස දහසක් මී තුරු” – මී පැළ 10,000 ක් සිටුවීමේ දීප ව්‍යාප්ත රූක් රෝපණ වැඩසටහන දියත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු පියවර වශයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගලපිට ආර වැව කෘෂිකාර්මික කලාපයේ මී පැළ පන්සීයක් රෝපණය කිරීම පසුගිය 19 වනදා පෙරවරු 10.30 ට යෙදුනු සුබ මොහොතින් සිදුකෙරිණ.
මෙම අවස්ථාව සඳහා බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ආර්.එස්. තිලකරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නියෝජනය කරමින් ඒ මහතාගේ ලේකම්, මොනරාගල දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජනය කරමින් වසන්ත හරිස්චන්ද්‍ර , ගලපිට ආර ගොවි සමිතියේ සභාපති එන්.ජී නිකවෙල, සහ එල්.ටී.එල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ යූ.ඩී ජයවර්ධන සහ එල්.ටී.එල් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නුහුමාන් මරික්කාර් යන මහත්වරුන් එක්වූහ.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන් සහ එල්.ටී.එල් සමාගම් සමූහයේ නිලධාරීන් මෙන්ම පාසල් සිසුන් රැසක් ද මීට එක්ව සිටියහ.
මී ගස (Madhuca Longifolia) පාංශු සංරක්ෂණයට, භූමියේ පොහොර ප්‍රමාණය වැඩිවීමට සහ ඔක්සිජන් ප්‍රමාණය ඉහළ නැංවීම සදහා දායක වන බවට විද්‍යාත්මකව තහවුරු කරන ලද ඉතා වටිනා ශාඛයකි. 2025 – 2028 කාලසීමාව තුළදී දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක් ආවරණය වන පරිදි මී පැළ 10,000 ක් රෝපණය කිරීම සඳහා එල්.ටී.එල් හෝල්ඩින්ග්ස් සමාගම සැලසුම් කර ඇති අතර එම ශාඛ පරිසර පද්ධතියට සම්පූර්ණයෙන් අනුගත වන තෙක් වසර තුනක කාලයක් රැකබලා ගැනීම සඳහා ද තිරසර සැලසුමක් සමාගම විසින් සකස් කර ඇත.
ඒ අනුව මෙම ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ රෝපණය කරන ලද මී පැළ ඉදිරි වසර තුනක කාලයක් පුරා රැකබලාගැනීමේ වගකීම ගලපිට ආර වැව ගොවි සමිතිය වෙත පැවරෙන අතර ඒ වෙනුවෙන් මූල්‍ය පිරිවැය දරනුයේ එල්.ටී.එල් හෝල්ඩින්ග්ස් සමාගම විසිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සැපයුම්කරු වන එල්.ටී.එල් හෝල්ඩින්ග්ස් සමාගම ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, සිංගප්පූරුව, ටැන්සානියාව, ඕස්ට්‍රේලියාව, ඕමානය, උගන්ඩාව, කෙන්යාව සහ ඉතියාපියාව මෙන්ම තවත් නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයන් රැසක බලශක්ති ක්ෂේත්‍රයට අදාල ඉංජිනේරුමය කාර්යයන් රැසක් සාර්ථකව සිදුකර ඇති සමාගමකි.
ට්‍රාන්ස්ෆොමර්ස් නිශ්පාදනය, ගැල්වනයිස්කරණය සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඉංජිනේරුමය කාර්යන්හී නියුතු වන සේම, පොදු මහජනතාවගේ සුබසෙත පිණිස සිය සමාජ වගකීම් ඉටුකිරීම පිණිසද, එල්.ටී.එල් හෝල්ඩින්ග්ස් සමාගම පූර්ණ කැපවීමෙන් යුතුව ක්‍රියාකරමින් සිටියි.
මෙම “දස දහසක් මී තුරු” – මී පැළ 10,000 ක් සිටුවීමේ දීප ව්‍යාප්ත රූක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ඇමතූ බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ආර්.එස්. තිලකරත්න මහතා සඳහන් කර සිටියේ , පරිසරය විනාශය සීග්‍රයෙන් සිදුවෙමින් පවතින කාලසීමාවක “දස දහසක් මී තුරු” වැඩසටහන ඉතාමත් වැදගත් සමාජ සත්කාරයක් බවයි.
ජල පෝෂක ප්‍රදේශ, වන වනරක්ෂිත ආශ්‍රිතව මෙම වන රෝපණය තුළින් පරිසයට මහඟු මෙහෙවරක් සිදුවනවා සේම ජනතාවගේ චර්යාත්මක වෙනස්කමක් ඇතිකර ගැනීමට හැකියාව ලැබෙන බවද ඒ මහතා සඳහන් කළේය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලකරත්න මහතා මෙසේද පැවසීය .
එල් ටී එල් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් මී පැල දස දහසක් සිටුවීමේ මෙම සමාජ සත්කාරය අදියර 5ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි පළමු අදියර තමයි අද මී පැල සිටුවමින් මේ ආරම්භ වන්නේ. ඒ වෙනුවෙන් බුත්තල ප්‍රදේශය වෙනුවෙන් මගේ ස්තුතිය පළකර සිටිනවා.
මෑත කාලීනව ඉතාමත් ක්‍රියාකාරී ගොවි සංවිධානයක් ලෙස ගලපිටආර ගොවි සංවිධානය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසාම තමයි අද මේ වැඩසටහනේ නියමුවන් විදියට ඔවුන්ව තෝරගෙන තියෙන්නෙ. ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයේ ඇතිවන වැඩිදියුණු කිරීමේදී බුත්තල නගරය ඉතාමත් සුවිශේෂී වෙනවා. එහිදී මෙම ගලපිට ආර වැව ප්‍රදේශයේ විධිමත් සංවර්ධනයක් සඳහා යොමු කිරීමේදී මෙම රුක් රෝපණ වැඩසටහනද ඒ සඳහා ඉතාමත් වැදගත් වෙනවා.
එමෙන්ම ගලපිට ආර වැව පිළිබඳව ගොවි මහතුන් විසින් මුහුණු දෙන ගැටළු සම්බන්ධයෙන්ද එල්ටීඑල් ආයතනයේ අවධානය යොමුකර තිබීම පිළිබඳවත් අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
LTL සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරී නුහුමාන් මරික්කාර් මහතා,
ආයතනයක් විදියට අපි කටයුතු කරනුයේ විදුලි ක්ෂේත්‍රයට අදාළවයි. නමුත් අපේ සේවාවන් සමඟ අපි නිතරම පරිසර හිතකාමී කටයුතු වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වනවා. එහි තවත් පියවරක් ලෙස මෙම මී පැල 10000 ක් රෝපණය කිරීමේ වැඩසටහන පෙන්වාදීමට හැකියි.
අපි මෙම කර්තව්‍යයට මුල පිරීමේදී රජයේ ක්‍රියාත්මක ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සම්බන්ධව ක්‍රියාත්මක කිරීම වඩාත් යහපත් බව කල්පනා කළා.
පරිසරයට හා ජීවීන්ට හොඳ වාතාශ්‍රයක් ලබාගැනීම වෙනුවෙන් මෙම පැල සිටුවීමේ ව්‍යාපාරය මේ වගේ සුන්දර ප්‍රදේශයක ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. ගලපිට ආර වැවෙහි තිබෙන වතුර ප්‍රශ්න පිළිබඳව ගොවි මහත්වරුන් විසින් අපව දැනුවත් කළා. අපට ඒ සම්බන්ධව දැනුමක් තිබෙනවා. අපි ඒ ගැන අධ්‍යයනක් කරනවා. රාජ්‍ය ආයතන සමඟ එක්ව මෙම ගැටළු වලට විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
මොනරාගල දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල , ගලපිට ආර වැව ගොවි සමිතියේ සභාපති එන්.ජී. නිකවෙල යන මහත්වරු ද සමාරම්භක උත්සවය ඇමතූහ.