2025 වසර වෙනුවෙන් ඊයේ (17) ජනාධිපති අනුර දිසානායක ඉදිරිපත් කළ අයවැය වසර 30ක් තුළ අහන්න ලැබුණු සාධනීයම අයවැය බව මාධ්‍යවේදින් පවා තමන් සමඟ පැවසූ බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි.
ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් අයවැය සම්බන්ධව සාධනීය අදහස් දක්වමින් සිටින විට තවත් ඇතමුන් කුහකත්වයෙන් අයවැය සම්බන්ධව අදහස් දක්වමින් සිටින බවද ඔහු පැවසීය.
නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදී ඇරඹි 2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
අද සිට පෙබරවාරි 25 වන දින දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර පෙබරවාරි මස 25 වන දින පස්වරු 6.00 ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
ඒ අනුව සෑම දිනකම පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා අයවැය විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතය