තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් වන හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, එම තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (6) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය දිමුත්ගේ 100 වැනි ටෙස්ට් තරගය මෙන්ම අවසන් ටෙස්ට් තරගය ද වෙයි.
මේ දක්වා ටෙස්ට් තරග 99 කට ක්‍රීඩා කර ඇති දිමුත් කරුණාරත්න, ඒවායේදී ලකුණු 7172 ක් ලබා තිබේ. ඔහු ලබාගත් ටෙස්ට් ශතක සංඛ්‍යාව 16 ක් වන අතර අර්ධ ශතක සංඛ්‍යාව 39 කි.
2019 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ දිමුත්, එක්දින තරග 50 කට ක්‍රීඩා කර තිබේ. ඔහුගේ අවසන් එක්දින තරගය ලෙසින් සටහන් වන්නේ 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයයි.
වසර 2021-2023 ටෙස්ට් ලෝක ශූරතාවලිය නිමාවීමෙන් පසුව එහි ඊළඟ කාර්තුව සඳහා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට පිරිනමමින් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට දිමුත් සූදානම් විය. එහෙත් තේරීම් කමිටු නිලධාරීන්ගේ ඉල්ලීම මත තවත් ටික කලක් ටෙස්ට් පිටියේ රැඳීසිටි දිමුත් වසර 2023 දී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වසරේ කණ්ඩායමටත් නම් කරන ලදි. එම වසරේදී දිමුත් ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 6 කට පමණක් වූවද, ඒවායේදී ලකුණු 608 ක් ලබාගත් දිමුත්ගේ ඉනිමක සාමාන්‍යය 60.80 ක් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30 කදී නායකත්වය දුන් දිමුත්, ගාල්ල ටෙස්ට් තරගයෙන් පසුව, ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩාකළ හත්වැනි ශ්‍රී ලාංකිකයා වන අතර එකම ආරම්භක පිතිකරුවා ද වෙයි