ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට යාපනයට පැමිණෙන බැවින් යාපනයේ කිසිදු ස්ථානයක උද්ඝෝෂණ උපවාස හා වෙනත් විරෝධතා පැවැත්වීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස යාපනය පොලිසිය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පළ කරමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ඇතුළු උතුරේ සංවිධාන කිහිපයක් ඒකාබද්ධව හෙට (31) ජනාධිපතිවරයාගේ රැස්වීම පැවැත්වෙන ස්ථානයේ සහ ඒ අවට විරෝධතා පැවැත්වීමට තීරණය කර තිබීම නිසා බව යාපනය පොලිසිය පවසයි.
මෙම විරෝධතා සංවිධානය කිරීමේ කටයුතුවල උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඇතුළු තවත් සංවිධාන කිහිපයක ක්‍රියාකාරීන් සිටින බව යාපනය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම හෙට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර එය ඉලක්ක කර ගනිමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.
සැලසුම් කර තිබෙන ආකාරයට උද්ඝෝෂණ පැවැත්වුවහොත් මහජන සාමය කඩවීමට ඉඩ ඇති බැවින් සාමය පවත්වාගෙන යෑම සඳහා උද්ඝෝෂණ වලට එරෙහිව වාරණ නියෝගයක් පනවන ලෙස පොලිසිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.