සිරියාවේ වත්මන් රජය විසින් එරට රාජ්‍ය අංශයේ වැටුප් 400% කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සිරියානු රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය පිළිබඳ ගැඹුරු සමාලෝචනයකින් පසුව වැටුප් ගැලපීම සිදු කරන බව වාර්තා කරන අතර එයට සේවකයින් මිලියන 1.3 ක් පමණ ඇතුළත් වන බවද සඳහන් වේ.
එරට මුදල් අමාත්‍ය මොහොමඩ් අබාසීඩ් පවසා ඇත්තේ, අමාත්‍යාංශවල පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව මෙසේ එරට රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා ලබන මාසයේ සිට වැටුප් වැඩි කරන බවයි. ඉරිදා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් අබාසීඩ් මෙම වැඩිවීම විස්තර කර තිබෙන්නේ “රටේ ආර්ථික යථාර්ථයට හදිසි විසඳුමක් කරා යන පළමු පියවර” ලෙසයි.
මේ වන විට දරිද්‍රතා රේඛාවට වඩා පහළ මට්ටමක සිටින සිරියාව ඉදිරි මාස 03 ඇතුළතදී එරට බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වෙයි.
දශකයකට අධික යුද්ධයකින් සහ සම්බාධකවලින් පසු රටේ බිඳෙනසුලු ආර්ථිකය ස්ථාවර කිරීමේ උත්සාහයක කොටසක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
ආසන්න වශයෙන් සිරියානු පවුම් ට්‍රිලියන 1.65 ක් (ඩොලර් මිලියන 127 ක්) මෙම වැටුප් වැඩිකිරීම සඳහා වැය වනු ඇතැයි අපේක්ෂා කරන අතර සැලසුම්ගත වැටුප් වැඩිවීම, පවතින රාජ්‍ය සම්පත්, කලාපීය සහයෝගය, නව ආයෝජන සහ දැනට විදේශයන්හි කැටි කර ඇති සිරියානු වත්කම් නැවත ලබා ගැනීමේ උත්සාහයන් හරහා අරමුදල් සපයනු ලබන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.