පසුගිය ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයින් 38 දෙනාගෙන් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් 12දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
එලෙස වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් 07 දෙනකුට එරෙහිව දැනටමත් නඩු පවරා තිබෙන අතර ඉතිරි 05 දෙනාට එරෙහිව නඩු පැවරීම ලබන සතිය තුළ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
වියදම් වාර්තා ලබා දෙන ලෙස ලිඛිතව හා වාචිකව අවස්ථා ගණනාවකදීම අපේක්ෂකයින් දැනුවත් කළ ද ඒ සඳහා උනන්දුවක් නොදක්වා සිටින අපේක්ෂකයින්ට එරෙහිව මෙලෙස නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාවේ එම නිලධාරියා සඳහන් කළේය.
වියදම් වාර්තා ලබා නොදීම හේතුවෙන් යම් අපේක්ෂකයකුට එරෙහිව නඩු පැවරීම සිදුකළහොත් පවතින නීතියට අනුව ඔහුට මැතිවරණයක අපේක්ෂකත්වය ලබා ගැනීමට ද ඉඩ නොලැබෙන බව නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.