Home අද සහල් පාලන මිල ඉහළ දාන්න : පොඩි මෝල්ලුන් ඉල්ලයි !

සහල් පාලන මිල ඉහළ දාන්න : පොඩි මෝල්ලුන් ඉල්ලයි !

150
0

වී කිලෝවක් මේ වන විට රුපියල් 145-150ත් අතර මිලක් ගෙන ඇති බැවින් දැනට පවතින පාලන මිලට සහල් ලබාදීමට නොහැකි බව කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පවසයි.

එබැවින් සහල් කිලෝවක පාලන මිල රුපියල් 270-275 ක් දක්වා ඉහළ දැමීමට අවශ්‍ය බවද ඔවුන් පෙන්වා දෙයි .

රුපියල් 150 කට වී මිලදී ගැනීමට කටයුතු කළහොත් සහල් කිලෝවක මිල රුපියල් 280 ක් බවට පත් කළ යුතු බවත් වී කිලෝවකට රුපියල් 150 ක් නොලැබෙන නිසා බොහෝ ප්‍රදේශවල ගොවින් වී ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් ඔවුන් සඳහන් කරයි.

පසුගිය කන්න වල ලැබුණු වී අස්වැන්නෙන් කොටසක් ගොවීන් හා අතරමැදියන් සතුව පවතින බව ඔවුන්ගේ අදහසයි.

මෙම තොග මෝල්වලට නොලැබුණහොත් ජනවාරි මාසයේ දෙවැනි සතිය වන විට දැනට පවතින සහල් හිඟය තවදුරටත් උග්‍ර වන අතර සහල් ආනයනය කිරීමේ සැලසුම් අනුව අපේක්ෂිත ආකාරයට පසුගිය දිනවල සහල් තොග ලැබී නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ නිසා ගොවි ජනතාව ද තමන්ගේ අස්වැන්නට වැඩි මිලක් ඉල්ලා වී තොග වෙළෙඳ පොළට නිකුත් කිරීම සීමා කර තිබේ.

දැනට වී තොග පවතින්නේ ආර්ථික මට්ටම ශක්තිමත් ගොවීන් සතුව වන නිසා ඉල්ලා සිටින මුදල ලැබෙන තෙක් වී තොග රඳවා ගෙන සිටීමේ හැකියාව එම ගොවීන්ට තිබේ.

පසුගිය 09 වැනි දින ප්‍රකාශයට පත් සහල් පාලන මිල තීරණය කර තිබෙන්නේ වී කිලෝවක මිල රුපියල් 120 රුපියල් – 130 අතර මුදලකට මිලදී ගනිමින් තිබියදී වුවද ගොවින් විසින් තමන්ගේ වී තොග ලබාදීම සඳහා මේ වන විට ඉහළ මිලක් ඉල්ලා සිටින බව මෝල් හිමියන් පවසයි .

දෛනිකව මෙරට පරිභෝජනය සඳහා සහල් කිලෝ ලක්ෂ 60 ලක්ෂ 65 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. මෙම සහල් තොග වලින් සියයට පනහක් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් හා ඉතිරි කොටස මහා පරිමාණ මෝල් හිමියන් හා විදේශ රටවලින් සහල් ගෙන්වන ව්‍යාපාරිකයන් විසින් ලබා දෙන බවත් වී තොග නොමැති නිසා මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් 300කට වැඩි ප්‍රමාණයක කටයුතු අඩපණ වී තිබෙන බවත් මෝල් හිමියන් සඳහන් කරයි.

මේ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් දෛනිකව වෙළෙඳ පොළට නිකුත් කරන සහල් ප්‍රමාණය අඩුවෙමින් පවතී.

Previous article2025 වසරට ලැබෙන රජයේ නිවාඩු මෙන්න
Next articleඅපිට දුන්නේ හිස්වූ භාණ්ඩාගාරයක් : මාලිමාවේ මන්ත්‍රීගෙන් ඇඟ කිලිපොළා යන අනාවරණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here