Home අද ජනාධිපති අරමුදලෙන් මුදල් දුන්නේ නිසි ක්‍රමවේදයකට සුදුසුකම් ඇති අයට පමණයි – හිටපු ජනපති

ජනාධිපති අරමුදලෙන් මුදල් දුන්නේ නිසි ක්‍රමවේදයකට සුදුසුකම් ඇති අයට පමණයි – හිටපු ජනපති

397
0

තම පාලන කාලය තුළ ජනාධිපති අරමුදලේ මුදල් ක්‍රමවත්ව සහ කඩිනමින් සුදුසුකම් සම්පූර්ණ කළ රෝගීන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් සකස් කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති අරමුදලේ මුදල් භාවිතය සම්බන්ධව මතු වූ කරුණු පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් හිටපු ජනාධිපතිවරයා නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වේ.


VIII විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය.
වර්ෂ 2022 ජූලි මස සිට 2024 සැප්තැම්බර් මස දක්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුල ජනාධිපති අරමුදලේ ක්‍රියාකාරකම් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ලෙස මෙය ඉදිරිපත් කෙරෙයි.
2022 ජූලි මස 26 වැනි දින වන විට මූල්‍යාධාර ලබා ගැනීම සඳහා රෝගීන්/අයදුම්කරුවන් විසින් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කරන ලද අයදුම්පත් 8000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා ගෙවීම් සිදුකර නොතිබූ අතර 2022 දෙසැම්බර් මාසය වන විට තවදුරටත් අයදුම්පත් 3000 ක පමණ ප්‍රමාණයක් ජනාධිපති අරමුදල වෙත ගෙවීම් කිරීම සඳහා ඉදිරිපත් වී තිබිණ.
ඒ අනුව මේ සියළුම අයදුම්පත් සඳහා ඉතා කඩිනමින් ගෙවීම් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලද අතර 2022 වර්ෂය අවසාන වන විට සියළුම රෝගීන්/අයදුම්කරුවන් සඳහා ගෙවීම් සිදුකර අවසන් කෙරිණි. ඒ සඳහා රුපියල් මිලියන 1500 කට ආසන්න පිරිවැයක් ජනාධිපති අරමුදල විසින් දරන ලදී.
ඒ අනුව වසර ගණනාවක සිට ගෙවීම් සිදු නොවී ගොඩ ගැසී තිබුණු වෛද්‍යාධාර අයදුම්පත් සඳහා ගෙවීම් සිදු කර අවසන් කරන ලද අතර තවදුරටත් කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවීම් සිදු කිරීමට ක්‍රමවේදයක් ද සකස් කරන ලදී.
ඒ අනුව,
වෛද්‍යාධාර ලබා දීම සඳහා මාස ගණනාවක් ගතවන ක්‍රමවේදය වෙනුවට දින 3කට අඩු කාලයක් තුල වෛද්‍යාධාර ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි නව වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රයක් හදුන්වා දෙන ලදී.
රෝහලින් බැහැර වූ දින සිට වෛද්‍යාධාර අයදුම්පත් බාරදීමට තිබූ දින 30ක කාලය දින 60ක් දක්වා දීර්ඝ කරනු ලැබීය.
ගැටළු සහිත අයදුම්පත් ඉදිරිපත් වූ විට ඒවා තවදුරටත් සලකා බැලීම සඳහා අභියාචනා කමිටුවක් හඳුන්වා දීමට කටයුතු කෙරිණි.
ග්‍රාමීය සහ කොළඹින් පිටත අයදුම්කරුවන් සඳහා තවදුරටත් සහන සැලසීම සඳහා නව රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කරවා ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
අලුතින් හදුනාගෙන ඇති රෝග සඳහා මෙන්ම මීට පෙර වෛද්‍යාධාර ගෙවීම් නොකරන ලද රෝග සඳහා වෛද්‍යාධාර ගෙවීමේ කටයුතු අලුතින්ඇරඹීය.
එවකට පැවති සියළුම වෛද්‍යාධාර ගෙවීම් යාවත්කාලීන කිරීමේ පියවරක් වශයෙන් 2024 ජනවාරි මස සිට සියළුම වෛද්‍යාධාර ගෙවීම් 50% සිට 100% දක්වා ප්‍රමාණයකින් වැඩි කරන ලදී.
රාගම රෝහලේ දී කරනු ලබන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ  ශල්‍යකර්ම සඳහා රුපියල් ලක්ෂ 10 දක්වා වෛද්‍යාධාර ලබා දීම අලුතින් ආරම්භ කළේය.
කුඩා දරුවන්ගේ කර්ණ ශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්ෂ 6 දක්වා වෛද්‍යාධාර හදුන්වා දීම සිදුවිණ.
රජයේ රෝහල් විසින් සිදු කරනු ලබන සැත්කම් සඳහා සැත්කමට පෙර හා පසු වෛද්‍ය වාර්තා පිටතින් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා චෛද්‍යාධාර ලබා දීම අලුතින් හදුන්වා දුන්නේය.
ගැහැණු දරුවන්ගේ පැති කුදය රෝගය (Scoliosis) සඳහා  මෙරට දී හෝ පිටරටක දී හෝ සිදු කරනු ලබන සැත්කම් සඳහා අවශ්‍යතාවය අනුව ලබා දිය හැකි උපරිම වෛද්‍යාධාර දීම හදුන්වා දුණි. සාමාන්‍යයෙන් මේ වෙනුවෙන් සෑම විටම රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 40 දක්වා අවශ්‍ය වෛද්‍යාධාර ලබාදීමට කටයුතු කෙරිණ.
වෛද්‍යාධාර ලබා දීමේ ක්‍රමවේදය පුළුල් කිරීම හා ජනතාව වෙත ඒ සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුලින් වඩා හොද සේවාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.
වෛද්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා සැලකිල්ලට ගනු  ලබන රෝගියාගේ පවුලේ මාසික ආදායම් සීමාව සංශෝධනය කෙරිණ. එමඟින් වෛද්‍යාධාර ලබාදීමට සලකනු ලබන රෝගියාගේ පවුලේ මාසික ආදායම් සීමාව රුපියල්.150,000.00 සිට රුපියල්.200,000.00 දක්වා ඉහල දැමිණ.
වයස අවුරුදු 21 අඩු දරු දැරියන් සඳහා අක්ෂි ශල්‍යකර්ම සඳහා අලුතින් වෛද්‍යාධාර ලබා දීමට පියවර ගත්තේය.
යම් රෝගියෙකු සඳහා උපරිම රුපියල් ලක්ෂ 10 ක සීමාව යටතේ අවස්ථා ගණනාවකදී වුවද වෛද්‍යාධාර ලබා දීමට කටයුතු කිරීම හා එම සීමාව ඉක්මවා වෛද්‍යාධාර දීමට අවශ්‍ය වන්නේ නම් ජනාධිපතිතුමාගේ, ජනාධිපති ලේකම්තුමාගේ, ජනාධිපති අරමුදලේ ලේකම්තුමාගේ අනුමැතිය පරිදි එම සීමාව ඉක්මවා වෛද්‍යාධාර ලබාදීම ක්‍රියාත්මක විය.
මීට පෙර වෛද්‍යාධාර නොදුන් පිළිකා රෝග තත්වයන් සඳහා ද 2024.01.01 දින සිට වෛද්‍යාධාර ලබා දීමට කටයුතු ඇරඹිණ.
ලියුකේමියා, තැලසීමියා හා පිළිකා විශේෂයක් වන මයිලෝමා රෝගී තත්වයන් සඳහා සිදු කරනු ලබන ඇට මිදුලු සැත්කමට පෙර හා පසු කරනු ලබන පරීක්ෂණ සඳහා වෛද්‍යාධාර අලුතින් ලබා දීමට කටයුතු ඇරඹුවේය.
ඒ අනුව දැනට වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා රෝගීන් විසින් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සඳහා දින 3 ක් ඇතුලත වෛද්‍යාධාර ලබා දීමේ ක්‍රමවේදය සකස් කර ඇති අතර අදාල ගෙවීම් ඍජුවම රෝගියාගේ, අයදුම්කරුගේ බැංකු ගිණුම වෙත ‍ප්‍රේෂණය කර ඒ බව කෙටි පණිවිඩයක් මඟින් රෝගියා, අයදුම්කරු වෙත දන්වා යවනු ලැබේ. එසේම ශල්‍යකර්මය , ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා රෝහල්ගත වී ඇති අවස්ථාවක   ජනාධිපති අරමුදල විසින් රෝහල වෙත වගකීම් ලිපියක් නිකුත් කර පසුව අදාළ වෛද්‍යාධාරය රෝහල වෙත  ප්‍රේෂණය කිරීමද සිදුවිණ.
2022 වර්ෂයේ සිට වෛද්‍යාධාර වශයෙන් රෝගීන්- අයදුම්කරුවන් වෙත ලබා දී ඇති මුදල පහත පරිදිය.
2022 වර්ෂය වන විට ගොඩගැසී තිබූ අයදුම්පත්‍රද සමඟ  2022 වර්ෂය තුල රුපියල් මිලියන 1515 ක් ද 2023 වර්ෂයේ දී රු.මි.839 ක් ද 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා දළ වශයෙන් රු.මි.450 ක් පමණ ද රෝගීන් සඳහා වෛද්‍යාධාර වශයෙන් ලබා දී තිබුණි.
මේ කාලය තුළ වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා මහජන නියෝජිතයන් පෞද්ගලිකවම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කලද එක ඉල්ලීමකට හැර අනෙක් සියලුම ඉල්ලීම් සඳහා ජනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදය අනුගමනය කරමින් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබාදී නැති අතර එම කාලය තුළ ලබාදී තිබූ වෛද්‍යාධාර සම්බන්ධ විස්තර පහත පරිදිය.

මහජන නියෝජිතයාගේ නම හා තනතුර හා රෝගය ගෙවන ලද රෝහල ගෙවූ මුදල (රු.)
ගරු ඊ.ඒ.ඉසුරු දේවප්‍රිය පෙරේරා මැතිතුමා
හිටපු ප්‍රධාන අමාත්‍ය බස්නාහිර පළාත් සභාව
හදවත් සැත්කම නවලෝක රෝහල
ලක්ෂ 10
ගරු යූ.සරත් කෝංගහගේ මැතිතුමා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
හදවත් සැත්කම      ලංකා හොස්පිටල් ලක්ෂ 5
ගරු එස්.සී. මුතුකුමාරණ මැතිතුමා
හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී
ශ්‍රවන උපකරණ මිලදී ගැනීම විෂන් කෙයා
ලක්ෂ 4
ගරු එස්.ඒ.ජගත් කුමාර මැතිතුමා
හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී
හදවත් සැත්කම ආසිරි රෝහල ලක්ෂ 10
මීට අමතරව ශ්‍රී ලංකාවේ අග්‍ර ගන්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය සඳහා ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ගැනීම සඳහා චෙන්හිනායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා රුපියල් ලක්ෂ 50ක වෛද්‍යාධාර මුදලක් ලබා දුණි. දේශීය කලා හා සිනමා ක්ෂේත්‍රයට දක්වන ලද විශේෂ කුසලතා පදනම් කරගෙන ෆොන්සේකා මහත්මිය වෙත මේ වෛද්‍යාධාර මුදල ලබා දුන්නද ඇය මහජන නියෝජිතයකු ලෙස කටයුතු කිරීම නිසා මේ පිළිබඳව ගැටළුවක් ඇති කලද කලා ක්ෂේත්‍රයේ මෙවැනිම කලා ශිල්පීන් ගණනාවකට පසුගිය වසර දෙකක කාලය තුළ වෛද්‍යාධාර ගෙවීම් සිදුකර ඇති බව සඳහන්ය .
එසේම පසුගිය වර්ෂ දෙකක පමණ කාලය තුළ වෛද්‍යාධාර ඉල්ලුම් කරන ලද රෝගීන්, අයදුම්කරුවන්, කුඩා දරු දැරියන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දහයකට වඩා වැඩි ගෙවීම් විශාල සංඛ්‍යාවක් කර ඇති අතර ඒ පිළිබඳව ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාගත් සාමාන්‍ය ජනතාව සාක්ෂි දරනු ඇත.
එසේම වෛද්‍යාධාර ලබාදීමට මාස ගණනාවක ප්‍රමාදයක් දැනට නැති අතර පසුගිය කාලය තුළ වෛද්‍යාධාර ලබාගත් සාමාන්‍ය ජනතාව ඒ පිළිබඳවද සාක්ෂි දරති. දැනට වත්මන් රජය විසින්ද ඒ ක්‍රමවේදයම භාවිතා කරමින් කඩිනමින් වෛද්‍යාධාර ලබාදීමට කටයුතු කිරීම විශාල අස්වැසිල්ලකි.
පසුගිය වර්ෂ දෙකක කාලය තුළ ජනාධිපති අරමුදල විසින්  සිදුකරනු ලැබූ වෙනත් සේවාවන් රැසකී.
ජනාධිපති අරමුදල මඟින් පසුගිය වර්ෂ දෙකක කාලය තුළදී දරිද්‍රතාවයට සහන සැලසීමට එවැනි පවුල් වෙනුවෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සම්බන්ධීකරණය කරමින් විශේෂ සහන වැඩසටහන් හඳුන්වා දෙන ලද අතර ඒ යටතේ සහන අවැසි පවුල් විශාල සංඛ්‍යාවක් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මාසිකව මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයන් ලබා දීම ද ආරම්භ කෙරිණ.
පළමු වරට 2022 වර්ෂයේදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විශිෂ්ට ලෙස සමත් ආර්ථික අපහසුතා සහිත සිසු දරු දැරියෝ 3000 ක් සඳහා මාසිකව රුපියල් 6000 ක් බැගින් මාස 24 ක් සඳහා ශිෂ්‍යත්ව දීමේ වැඩසටහනක් ආරම්භ කරන ලද අතර ඒ යටතේ ශිෂ්‍යාධාර මුදල් ලබා දුන් දරු දැරියන් මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටියහ.
ඊට අමතරව 2023 /2024 වර්ෂවලදී තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් හතරක් හඳුන්වා දුන් අතර පසුගිය වර්ෂ දෙකක කාලය තුළ ශිෂ්‍යතිවලාභීන් 119,000 ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට කටයුතු කරන ලද අතර ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 6000 ක් පමණ වේ. මේ යටතේ 2023 / 2024 වර්ෂවලදී පහත සඳහන් ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්100,000ක් සඳහා මාස 12 ක කාලයක් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන.
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විශිෂ්ඨ ලෙස සමත් එහෙත් අ.පො.ස (උසස් පෙළ) හැදෑරීම සඳහා ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 ක් සඳහා මසකට රුපියල් 6,000 බැගින් මාස 24 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන.
පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සිල් මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000ක් සඳහා මාසිකව රුපියල් 3,000 / 6,000 බැගින් මාස 12/24ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන.
අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා ජනාධිපති අරමුදල ඒකාබද්ධව මසකට රුපියල් 6000ක් බැගින් ශිෂ්‍යත්ව 5000ක් පිරිනැමීමේ වැඩසටහන.
මේ ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 6000ක පමණ මුදලක් දැරීමට සිදුවන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ ශිෂ්‍යත්ව වැඩසටහන හැර අනෙකුත් සියළුම ශිෂ්‍යත්ව වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව පසුගිය වර්ෂ දෙකක පමණ කාලය තුළ ජනාධිපති අරමුදලේ සම්පූර්ණ මූල්‍ය ශක්තිය යොදවා ඇත්තේ සාමාන්‍ය ජනතාව වෙත උපරිම ලෙස සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් සැලැස්වීමට වන අතර එ් කාලය තුළ රෝගීන්, අයදුම්කරුවන් 15000 කට පමණ රුපියල් මිලියන 3000  ඉක්මවා යන මුදලක් වෛද්‍යාධාර වශයෙන් ගෙවීම් සිදුකර ඇත. මේ රුපියල් මිලියන 3000 අතුරින් මෙන්ම ගෙවන ලද වෛද්‍යාධාර අයදුම්පත් 15,000ක් පමණ ප්‍රමාණය අතුරින් අග්‍රගන්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය වෙත රුපියල් මිලියන 5ක මුදලකුත් ඉහතින් සඳහන් කළ පරිදි තවත් මහජන නියෝජිතයන් හතර දෙනකු වෙත රුපියල් මිලියන 2.9ක පමණ වෛද්‍යාධාර මුදලකුත්, ජනාධිපති අරමුදල් පනතේ පවතින විධිවිධාන ප්‍රකාරව ගෙවා ඇත.
එසේම මේ කාලය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සිසුන් හැර ගිහි හා පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 114,000ක් වෙනුවෙන් රුපියල් මිලියන 5200ක පමණ ශිෂ්‍යාධාර ගෙවීම් සිදුකරමින් පවතින අතර අදාළ කාලය තුළ ආගමික කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා තෝරා ගත් පවුල් වෙනුවෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ද සැලකිය යුතු මූල්‍ය ප්‍රදානයන් සිදුකර තිබේ.
මෙම වර්ෂ දෙකක පමණ කාල පරිච්ඡේදය තුල මහපොළ ශිෂ්‍යත්ව ලබා දීම සඳහා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙත රු.මි 3000 කට අධික මුදලක් ජනාධිපති අරමුදල මඟින් ලබා දී ඇත.
ඒ අනුව පසුගිය වර්ෂ දෙකක පමණ කාලය තුල ජනාධිපති අරමුදලේ සම්පූර්ණ මූල්‍ය ශක්තියම යොදවා ඇත්තේ සාමාන්‍ය ජනතාව වෙත සෞඛ්‍ය පහසුකම් සලසා දීම සඳහාත්, ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ශිෂ්‍යත්ව ලබා දීමටත්, සඳහාත් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා දිළිදු පවුල් වෙත යම් යම් මූල්‍යාධාර ලබාදීම සඳහාත් අවශ්‍ය අවස්ථා වලදී ආගමික කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා යම් යම් මුල්‍යාධාර ලබා දීම සඳහාත්ය.  මෙම සම්පූර්ණ කාලය තුලම අග්‍රගන්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය වෙත ලබා දුන් රු.මිලියන 5 ක වෛද්‍යාධාරය සහ වෙනත් මහජන නියෝජිතයින් 4 දෙනෙකු වෙත ලබා දී ඇති රු.මි.2.9 ක පමණ වෛද්‍යාධාරය පමණකි.
මෙම සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරා ගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ විධිවිධාන පදනම් කරගෙන අදාල පාසල් මට්ටමින් හා කලාප මට්ටමින් වන අතර ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම පිළිබඳව කිසිඳු මැදිහත්වීමක් ජනාධිපති අරමුදල විසින් හෝ ජනාධිපති කාර්යාලය හෝ කර නැත. එවැනි ආකාරයට පූර්ණ විනිවිදභාවයකින් යුක්තව සියලු කටයුතු සිදු කර ඇති බවට තෝරා ගෙන ඇති ශිෂ්‍යත්වලාභීන්, දෙමාපියන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශවයන් සාක්ෂි දරනු ඇත.
එසේම පසුගිය වර්ෂ දෙකක පමණ කාලය තුළ ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර ලබා දීමේ ක්‍රමවේද හා ජනාධිපති අරමුදල මඟින් සලසනු ලැබූ අනෙකුත් සියලුම සේවාව ද පූර්ණ විනිවිදභාවයකින් යුක්තව සිදු කරන ලද අතර මේ පිළිබඳව තවදුරටත් තොරතුරු තොරතුරු ජනාධිපති අරමුදලේ නිල Facebook පේජය හා නිල වෙබ් අඩවිය පරිශීලනය කිරීමෙන් වටහා ගැනීමට පුළුවන.
ශිෂ්‍යත්ව වැඩසටහන් හා අලුතින් වෛද්‍යාධාර ගෙවීම් හඳුන්වා දී ජනතාව වෙත පසුගිය වර්ෂ දෙකක කාලය තුළ අලුතින් වෛද්‍යාධාර ගෙවීම් ගණනාවක් හඳුන්වා දීමත්, පැවති වෛද්‍යාධාර ගෙවීම් විශාල ලෙස ඉහළ දැමීමත් , අලුතින් ශිෂ්‍යත්ව වැඩසටහන් ගණනාවක් හඳුන්වා දීමත් මඟින් වසර දෙකක කාලය තුල ජනතාව වෙත විශාල මූල්‍ය ප්‍රතිලාභ ලබා දුන්නද ජනාධිපති අරමුදලේ මූල්‍ය ශක්තිය ඉතා ඉහල මට්ටමින් පවත්වා ගෙන යාමටද අවශ්‍ය පියවර මෙම කාලය තුළදී ගන්නා ලදී.
ජනාධිපති අරමුදලට මූල්‍ය ශක්තිය ලබා දෙනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මඟින් උපයන ලාභයෙන් වන අතර ඊට අමතරව පරිත්‍යාගශීලීන් විසින්ද යම් යම් ආධාරයන් ලබා දෙනු ලැබේ. 2022 ජූලි මස 31 වන විට ජනාධිපති අරමුදලේ පැවති රුපියල් මිලියන 7000ක් පමණ වූ ආයෝජන ශේෂය ඉහතින් සඳහන් කල ගෙවීම් සිදු කිරීමෙන් පසුවද, 2024 සැප්තැම්බර් මස 21 වන විට රු.මිලියන 11,000ක් ඉක්මවා යන ශේෂයක් වශයෙන් පැවති බවද සඳහන් කළ යුතුයි.
19.12.2024

Previous articleපෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව ඉහළට!
Next articleසිලින්ඩරය පුපුරයි – නව දේශපාලන සන්ධානයක් ගොඩනැගෙන ලකුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here