Home අද කතානායක ඉල්ලා අස්වෙයි ? ආණ්ඩුවේ බෙදීමක් : අනුර දෙලොවක් අතර !

කතානායක ඉල්ලා අස්වෙයි ? ආණ්ඩුවේ බෙදීමක් : අනුර දෙලොවක් අතර !

247
0

කතානායක අශෝක සපුමල් රන්වලට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දැනුම්දෙන්නැයි කියමින් ආණ්ඩුවට සහයෝගය දැක්වූ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් වෙතින් එල්ලවන බලපෑම් උග්‍රවී ඇති බව වාර්තා වෙයි.

එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රබලයන් අතර විශේෂ සාකච්ඡා කිහිපයක් සිදුව තිබෙන බවද විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට කතානායකට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දීමට වැඩි ඉඩක් පවතී.

මේ සම්බන්ධයෙන් වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර දිසානායක ජනාධිපති කරවීමේ මතවාදය නිර්මාණය කිරීමට කැපවූ කිහිපදෙනෙකු වෙතිනි.

ඔවුන් දිගින් දිගටම ජනාධිපතිවරයාට සන්නිවේදනය කර තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර සිට තමන් ජාතික ජනබලවේගය පක්ෂයට සහාය දුන්නේ ” ඔයා” ( අනුර දිසානායක ) ගැන විශ්වාසයෙන් මිස මාලිමාව හෝ ජවිපෙ සම්බන්ධයෙන් විශ්වාසයකින් නොවන බවයි. එබැවින් ජනාධිපතිවරයා වහාම මැදිහත්ව මෙම ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇති බවද දැනගන්නට ඇත.

එසේම ඔවුන් දිගින් දිගටම සිය සමාජ මාධ්‍ය ගිනුම් හරහා ජනාධිපතිවරයාව බිත්තියට හේත්තු වෙන ආකාරයට මතවාදී සටනක් දියත්කළ බවද එකී ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට කතානායක ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේද මත දෙයක් පවතී. එහිදී ජාතික ජනබලවේගය ලෙස ආණ්ඩුව සමඟ එක්ව සිටින කොටසක මතය වී තිබෙන්නේ කතානායක අශෝක රන්වල වහාම ඉල්ලා අස්විය යුතු බවයි. ඒ වෙනුවෙන් දැනටමත් ප්‍රමාද වැඩි බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

ඉතිහාසයේ 3%කට වැටී තිබූ ජනතා විමුක්ති පෙරමුණ රටේ පාලන බලය ගැනීමට සමත්වූයේ ජාතික ජනබලවේගය ලෙස තම පාර්ශ්වයන්ගේ මැදිහත්වීම නිසා බවත් එබැවින් ජනවරමේ මෙන්ම තමන්ට ද හෙට දිනයේ සමාජයෙන් අපවාදයට ලක්නොවී සිටීම සඳහා කතානායක ගේ ඉල්ලා අස්වීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බවත් මේ පාර්ශ්වයන්ගේ දැඩි ස්ථාවරය වී තිබේ.

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඇතුළු පූර්ණ කාලීන සාමාජිකයන් රැසක් ඊට වෙනස් ස්ථාවරයක් ගෙන ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ අදාළ චෝදනාව රන්වල වැනි පක්ෂයේ ප්‍රබලයකු අහිමි කරගනිමින් , දේශපාලනය කිරීමට තරම් ප්‍රබල හේතුවක් නොවන බවයි. ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීම කතානායක ධූරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හැර යාමට තරම් ප්‍රබල චෝදනාවක් නම් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන අනෙක් මැතිඇමතිවරුන් ද ඒ අනුව ක්‍රියාත්මක වී ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජවිපෙ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුළු ප්‍රබලයන්ගේ ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි. එසේ වුවහොත් තවත් කිහිපදෙනෙකු සමඟ මාලිමාවේ සියලු කුණු ඉවත් කළ බව පවසා සැලකිය යුතු දේශපාලන වාසියක් ගතහැකි බවද ඔවුන් පෙන්වාදී තිබේ.

ඒ හැර රන්වල සහෝදරයා පමණක් මේ මොහොතේ දේශපාලන බිල්ලක් ලෙස පාවිච්චි කිරීම කොහෙත්ම අනුමත කළ නොහැකි බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. මෙම ජවිපෙ ක්‍රියාකාරීන් ආණ්ඩුවේ ප්‍රබලයන් වෙත වැඩිදුරටත් දන්වා ඇත්තේ රන්වල සහෝදරයා වෙනුවෙන් මේ මොහොතේ සාමූහික පෙනී සිටීමක් සඳහා ජවිපෙ පෙරමුණ ගත යුතූව ඇති බවයි. එසේ නොවුවහොත් ජාතික ජනබලවේගය තුළ ජවිපෙ සතු ශක්තිය හීනවී , “සුඛෝපභෝගී ජීවිත ගෙවමින් තෙල් මන්ද දියකර ගැනීමට දේශපාලනය කිරීමට පැමිණි පිරිසක්” බලවත් වනු ඇති බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

මේ ආකාරයේ ස්ථාවර දෙකක් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතිවීම හේතුවෙන් ජනාධිපති අනුර දිසානායක ද තීරණයක් ගැනීමේ දුෂ්කරතාවක සිටින බවත් දැනගන්නට ඇත. එම ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට ජනාධිපතිවරයා මේ වන විට දෙලොවක් අතර හිරවී තිබේ.

කෙසේ වුවත් අද (13) රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති අනුර දිසානායක පවසා සිටියේ , ජනතාව තම පාලනය කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ නොදෙන බවත් තම ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් ක්‍රියා මාර්ග ගන්නා බවත් ය.

මේ සමඟ ජනාධිපති අනුර දිසානායක හිතවාදි ප්‍රතිපත්තියක සිටින පිරිස් සිය සමාජ මාධ්‍ය ගිනුම් හරහා කතානායක ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරයක් දියත්කර ඇති අතර, ජවිපෙ ක්‍රියාකාරීන් තවදුරටත් තමන් අශෝක සපුමල් රන්වල සහෝදරයා වෙනුවෙන් පෙනී සිටින බව දක්වමින් සිය මතවාදය ශක්තිමත් කරන තත්ත්වයක් නිරීක්ෂණය වෙයි.

මෙම මතුව තිබෙන තත්ත්වය හමුවේ අවසානයේ ජයග්‍රහණය කරන්නේ ජනාධිපති අනුර දිසානායක වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම ද නැත්නම් රන්වල සහෝදරයා වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ පිරිසද යන්න තීරණය වීමට නියමිතයි.

Previous articleජනපති වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කරයි
Next articleඅශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here