Home අද ගෑස් සිලින්ඩර පාටියේ ලේකම්තුමිය දේශපාලන හොරකමක : සභාපතිගෙන් සැර නිවේදනයක් !

ගෑස් සිලින්ඩර පාටියේ ලේකම්තුමිය දේශපාලන හොරකමක : සභාපතිගෙන් සැර නිවේදනයක් !

84
0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට එම සන්ධානයේ නායකයින් විසින් කිසිදු බලයක් පවරා නැති පසුබිමක එම තීරණය උල්ලංඝනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමක් සහ දේශපාලන හොරකමක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකත්වය නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර සිටියි.

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිව තිබූ නමුත් එහි ලේකම්වරිය වන ශාමිලා පෙරේරා විසින් හවුල්කාර පක්ෂ නායකයන්ගේ කිසිදු විමසීමකින් තොරව පලමුව රවි කරුණානායක සහ දෙවනුව ෆයිසර් මුස්තාෆා පත්කිරීම හේතුකොටගෙන මෙකී නිවේදනය නිකුත්කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගෑස් සිලින්ඩරය ලකුණින් සන්ධාන ගතවීමට අදාළ එකඟතා ඇතුළත් ගිවිසුම ලේකම්වරිය වෙත භාරදී ඇති නමුත් මෙතෙක් එහි පිටපත් හවුල්කාර පක්ෂ වෙත නිකුත් නොකිරීම ඇතුළු චෝදනා රැසක් මෙම නිවේදනයේ දක්වා ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

විශේෂ නිවේදනය

ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතාවලට එළැඹියේය.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට තීරණය කෙරිණි.

එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දෙන ලදී.

අද වන තෙක් ගිවිසුම්වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නැත. ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කටයුතුකර නැත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත.

එම තීරණය උල්ලංඝනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමකි. දේශපාලන හොරකමකි.

රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර තිබේ. කමිටු වාර්තාව ලැබුණු පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.

Previous articleෆයිසර් ගියෙත් හොර පාරෙන් : සිලින්ඩර් නායකයන් දන්නෙත් නෑ 
Next articleආචාර්ය පට්ටම ගැන කතානායක රන්වල කට අරියි : සපුමල් සුවඳැති අලුත්ම විස්තරේ මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here