Home අද PTA ඇතුළු මර්දන කාරී අණපනත් නැතුව පුනරුදයට යන්නම බැරිද ?

PTA ඇතුළු මර්දන කාරී අණපනත් නැතුව පුනරුදයට යන්නම බැරිද ?

119
0

“ජාතිවාදය වපුරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. නැවත ලේ වැගිරීමක් සිදු කරන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ සම්බන්ධයෙන් අපට පවතින නීති සමග කටයුතු කරන්න සිදු වෙනවා.”

ඒ මේ දිනවල ආණ්ඩුව හයියෙන් කියන කතාවය. අනුරගේ පුනරුද ආණ්ඩුවට හදිසියේ ජාතිවාදයට එරෙහි සටන් පාඨය අතට ගන්න ලැබුණේ උතුරේ මහවිරු සමරුවක් ගැන දකුණේ හාදයන් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු මුදාහැරීම ය. ආණ්ඩුවට පෙරළුණු පිට හොඳ වූයේ , ඒ කිහිපදෙනා විපක්ෂය නියෝජනය කරන්නන් වීමය.

ජාතිවාදය ඇවිස්සීම වැරදිය. ව්‍යාජ තොරතුරු ප්‍රචාරයත් වැරදිය. ඒ ගැන කිසිම වාදයක් නැත. නමුත් ඒ සමඟ ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ PTA නැත්නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් කරේ තියාගෙන යන්නට ආණ්ඩුවට ජනවරමක් තිබේද? යන්නය. ඒ ප්‍රශ්නය අහන්න සිදුව තිබෙන්නේ ජාතිවාදයක් පිටින් යවා ආණ්ඩුව මර්දන නීති සුජාතකර තවදුරටත් පවත්වාගෙන යාමේ චණ්ඩි උත්සාහයක් දකින්නට ඇති නිසාය.

ජාතිවාදය වගේම ත්‍රස්තවාදයත් දුටුතැන පිටු දැකිය යුතුය. පරාජය කළ යුතුය. නමුත් ආණ්ඩුව දැන් කියන ආකාරයට PTA හරහා ජාතිවාදය පරාජය කරන්නේ කොහොමද යන්න පැහැදිලි නැත. කවර හේතුවක් මතවත් ඒ වෙනුවෙන් වන ජනවරමක් ද ආණ්ඩුවට නැත.

ජනාධිපති අනුර දිසානායක පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ කුමක්ද ? එහිදී පොරොන්දු වුණේ, “ප්‍රකාශනයේ නිදහසට බාධා වන වගන්තීන් ඉවත්කොට 2024 අංක 9 දරන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සංශෝධනය කිරීම” කියාය. ” ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දනකාරි අණපනත් අහෝසි කර සියලු ජනතාවගේ නිදහස සහතික කිරීම” කියාය.

ඒ කියන්නේ අනෙක් සෑම අංශයකදීම වගේම , මේ කාරණයේදී ද මාලිමාවේ “පෙර කියුම් සහ දැන් කෙරුම්” අතර වෙනස තහවුරු වූ බවය. පසුගිය මැතිවරණ සමයේ පමණක් නොව ඊටත් පෙර සිට ජාතික ජනබලවේගය හිටියේ ත්‍රස්ත පනතට විරුද්ධව ය. පැවති රනිල් පාලනය ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේ ඊට එරෙහිව වැඩිම සංවාද , රැලි, ජනහමු පැවැත්වූයේ ද මාලිමාවේ උදවියය. එය ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු පත්‍රයේ ප්‍රමුඛ පොරොන්දු වූයේද ඒ අනුවය.

එසේ නම් මෑත ඉතිහාසයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 78 සිට අවභාවිතා කර ඇති බව අපට මතක් කලේ මාලිමාවෙන් ය. එය වැඩි වශයෙන් යොදා ගත්තේ දේශපාලන පළිගැනීම් විදිහට බව අපට සිහිපත් කළේද මාලිමාවෙන් ය. 80 දශකයෙන් මෙන්ම 2022 වසරෙන් ඊට උදාහරණ අපට සිහිපත් කළේද මාලිමාවෙන් ය. PTA කියන්නේ උතුරේ යුද්ධමය වාතාවරණය කාලයේදී දමිළ ජනතාවට එරෙහිව යොදාගත් සහ ඒ යුද්ධවලට නායකත්වය දුන්න අය පසු කාලයක රාජපක්ෂ රෙජීමයට එරෙහිව දේශපාලනය කරනවිට ඔවුන්ට එරෙහිව අවභාවිතා කළ බව අපට සිහිපත් කළේද මාලිමාවෙන් ය.

ඒ සෑම විටම අවධාරණය කෙරුණේ ත්‍රස්ත මර්දනය පෙරමුණේ තබා පාලකයන් ප්‍රතිවිරුද්ධ මතධාරීන් මර්දනය කිරීමට යොදාගන්නවා කියාය. ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කරන බවය. ඒ අනුව දැන් මාලිමාවෙන් ඇසිය යුත්තේ ඔවුන් විපක්ෂයේ සිටිය විටදී වැරදි වූ දේ ඔවුන් බලය ගැනීමෙන් පසුව නිවැරදි වන්නේ කොහොමද යන්න යි.

අනෙක් අතට PTA ඇතුළු මර්දන කාරී අණපනත් අහෝසි නොකිරීම සහ ජාතිවාදය පිටුදැකීම අතරේ ඇති සම්බන්ධය කුමක්ද කියාද විමසිය යුතුව ඇත. ඊට අදාළ අනුරගේ පාලනයේ ප්‍රකාශනය වී තිබෙන්නේ PTA ඇතුළු මර්දන කාරී අණපනත් නැතුව ජාතිවාදය පිටුදැකීමට නොහැකි බවක් ය. ඒ තුළ ඔවුන් අතීතයේ සිටි ස්ථාවරය ව්‍යාජ බව තහවුරු කෙරේ. අනිත් අතට ජාතිවාදය පිටුදැකීමට මර්දනය සිය එකම තෝරාගැනීම බවට පත්කරගෙන තිබීමක්ද නිරීක්ෂණය වෙයි. එය එසේ නම් ආණ්ඩුවේ තේරීම අමනෝඥ ය. ඒ ජාතිවාදය පරාජය කරන්න මර්දනය එකම තේරීම නම් එයින් සිදුවන්නේ ජාතිවාදය තවත් දැඩිවීමය. ජාතිවාදය තවදුරටත් සංකීර්ණ වෙමින් වැඩීමය. දුන්න පොරොන්දු කිසිවක් ඉටුකිරීමට අසමත් වෙමින් දිනපතා සංදර්ශන වලින් දුවමින් සිටින වත්මන් පාලනය , සියල්ල පෙර වැරදි කියමින් අමාරුවෙන් රැල්ල රැකගන්න ලකුණු හොයන ආණ්ඩුවට අවශ්‍ය එයද කියා සැකසංකා පහළ වෙයි.

ඒ රට තුළ ආන්දෝලනයකට තුඩුදුන් අත්අඩංගුවට ගැනීම් වලට ලංකා ආණ්ඩුවට විරුද්ධත්වයක් පළ කිරීම අපරාධ වරදක් බවට පත් කරන දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය පවා යොදාගෙන ඇති නිසාය. මෙකී ප්‍රතිපාදනය පසුගිය අරගල සමයේ ගෝඨාභය පාලනය පවා භාවිතා නොකළ 19 සියවසේ ගෙනා යල්පැන ගිය ආචීර්ණ කල්පිත නීතියකි. ඒ සමඟ ආණ්ඩුවට විරුද්ධව භාෂණයෙන් හා ප්‍රකාශනයෙන් කටයුතු කල හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අවස්ථා ගණනාවකදී තහවුරු කර ඇති බවද සිහිපත් කළ යුතුව ඇත.

එබැවින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම අනුලංඝනීය මිනිස් අයිතිවාසිකම් රකින ඒ වෙනුවෙන් කැපවූ ආණ්ඩුවක් ය යන පතිවත රැකගන්න ජාතිවාදය පිටුපස සැඟවීම වෙනුවට ආණ්ඩුව කළ යුතුව ඇත්තේ පොරොන්දු වූ ආකාරයට මර්දන කාරී අණපනත් අහෝසි කිරීමය. පුනරුදයට යන ජනවරම ඇත්තේ ද ඒ සඳහා ය. ගෝලීය ත්‍රස්තවාදය පිටුදැකීම , ත්‍රස්තවාදය මැඩීම වෙනුවෙන් ගෝලීය ප්‍රමිතිය සහිත පණත් ගෙන එන තුරු තිබෙන නීති වලින් ඉදිරියට යාම, අවුරුදු තුනකින් ගේන නව ව්‍යවස්ථාව වැනි අලුත් කතා බයිලා පමණය. ජාතිවාදය පිටුදැකීමට පමණක් නොව ත්‍රස්තවාදය වැළැක්වීමටත් ඕන තරම් නෛතික ප්‍රතිපාදන වල අඩුවක් නැත. හදිසි ඕනෑම මොහොතක අවශ්‍ය ඕනෑම නෛතික ප්‍රතිපාදනයක් සම්මත කරගත හැකි ව්‍යවස්ථාදායක බලයක්ද ආණ්ඩුව සතුය.

එවැනි පසුබිමක මාලිමාව දුන්න මේ පොරොන්දුවත්, අනිත් පොරොන්දු වගේම හීනියට කඩන්න ආණ්ඩුව හදනවා නම්, එයින් තහවුරු වන්නේ , ආර්ථික ක්‍රියාවලියේ සිටම දුන්න පොරොන්දු කිසිවක් ඉටුකරන්න බැරි, පුනරුද ආණ්ඩුව කියන්නේ නිකංම නිකං කයිවාරුවක් පමණක් බවය. දැන් ජනප්‍රිවාදී සටන් පාඨ වලින් අන්ධව සිටින බහුතර මතය එය නොවුවත් ,කොයි කාටත් යථාව අවබෝධවීම කාලය පිළිබඳව ප්‍රශ්නයක් මිස විය නොහැක්කක් නොවන්නේය.

– සජමලි –

Previous articleපොල් ගෙඩියක් රුපියල් 130ට දෙනවා – ඇමති වසන්ත කියයි
Next articleජනපති සහ ITAK මන්ත්‍රීවරුන් අතර හමුවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here