Home අද තොග මිල ඉහල නංවා සහල් මාෆියාව යලිත් වැඩ පෙන්නයි : ආණ්ඩුව බෙලහීනයි

තොග මිල ඉහල නංවා සහල් මාෆියාව යලිත් වැඩ පෙන්නයි : ආණ්ඩුව බෙලහීනයි

176
0

සහල් මෝල් හිමියන් විසින් නාඩු, සම්බා සහ කීරි සම්බා සහල් තොග මිල ඉහල නංවා ඇති බව වාර්තා වෙයි.

තොග වෙළෙන්දන් සඳහන් කරන ආකාරයට නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 255ක් ලෙසත්, සම්බා සහල් රුපියල් 260ක් ලෙසත්, කීරි සම්බා රුපියල් 275ක් ලෙසත් මිල ඉහල නංවන බව සහල් මෝල් හිමියන් දැනුම්දී ඇත.

එම මිලට අවශ්‍ය සහල් තොග ප්‍රමාණයට මුදල් බැංකුගත කරන ලෙසද සහල් මෝල් හිමියන් විසින් තොග වෙළෙන්දන් වෙත දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

සහල් මෝල් හිමියන් විසින් මේ ආකාරයට සහල් තොග මිල ඉහල නංවා තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සහල් සඳහා පාලන මිලක් ගැසට් කර ඇති පසුබිමකය. ඊට අනුව නාඩු සහල් කිලෝවක පාලන මිල වන රුපියල් 220ක්, සම්බා රුපියල් 230ක්, කීරි සම්බා රුපියල් 260ක් වෙයි.

මෙකී පාලන මිලට සහල් අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය සිල්ලර වෙළෙන්දන් වෙත දන්වා සිටියත්, ඔවුන් පෙන්වා දෙන්නේ සහල් තොග මිල පවා පාලන මිල ඉක්මවා ඇති පසුබිමෙහි තමන් බලවත් දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව බලය ගැනීමට පෙර සහල් මාෆියාව මට්ටු කරන බවට පුරසාරම් දෙඩුවත් ඒ සියල්ල බලය ගැනීමෙන් පසුව වචන වලට පමණක් සීමාවී කඩවුණ පොරොන්දු බවට පත්ව තිබේ. විශේෂයෙන් එවකට විපක්ෂය නියෝජනය කළ වත්මන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ විධායක ජනාධිපති ට සහල් මාෆියාව පාලනය කිරිමට අවශ්‍යතාවක් ඇත්නම් එය එක පෑන් පහරින් සිදුකල හැකි බවයි.

මේ වන විට ඔහුගේ නායකයා වූ අනුර දිසානායක විධායක ජනාධිපති වුවත්, එකී පෑන් පහර සහල් මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත.

කෙසේ වෙතත් මහ මැතිවරණය අභිමුව සහල් මිල අසාධාරණ ලෙස ඉහල ගොස් තිබීම සහ වෙළෙද පොළ තුළ ඇතිවූ සහල් හිඟය සම්බන්ධයෙන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් කැඳවා ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මතුව ඇති තත්ත්වය සමනය කිරිමට සහාය ඉල්ලා තිබිණ. එසේම සහල් ඇටයක්වත් ආනයනය නොකරන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණ.

නමුත් මහ මැතිවරණය අවසන් කර ජාතික ජනබලවේගය ආණ්ඩුව පිහිටුවා පැවැත්වූ පළමු කැබිනට් අමාත්‍ය හමුවේදී තීරණය කළේ සහල් මිල පාලනය කිරිමට සහ වෙළෙද පොළ තුළ තිබෙන සහල් හිඟය නැති කිරීමේ අරමුණින් සහල් මෙට්‍රික් ටොන් 70000ක් ආනයනය කිරීමටය. ආනයනික එම සහල් තොග දෙසැම්බර් 03 වන සතිය වන විට වෙළෙද පොළ වෙත නිකුත්කරන බවද ආණ්ඩු පාර්ශ්වයෙන් සඳහන් කෙරිණ.

එසේම ඊයේ (02) දිනයේද ජනාධිපතිවරයා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් කැඳවා උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළෙද පොළ විශ්ලේෂකයන් පවසන්නේ සහල් හිඟය කෙසේ වුවත් මිල පාලනය කිරිමට මෙට්‍රික් ටොන් 70000 ප්‍රමාණවත් නොවන බවය. ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නේ මහා පරිමාණ සහල් මෝල් මාෆියාවට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වුවත් ආණ්ඩුව පාර්ශ්වයෙන් එවැනි එළැඹුමක් පෙන්නුම් නොකරන බවද ඔවුන් පෙන්වාදෙයි.

Previous articleඑක්සත් ජනපද සහකාර ලේකම් ශ්‍රී ලංකාවට
Next articleසංගීත සංදර්ශන වලට යන ආණ්ඩුවේ JVP මැති ඇමතිලට පක්ෂ අනුමැතිය අනිවාර්ය වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here