Home අද වැස්සත් ආශීර්වාදයක් : විදුලි ගාස්තු සංශෝධනයේදී 30%-40% ක ගාස්තු අඩු කිරීමක් !

වැස්සත් ආශීර්වාදයක් : විදුලි ගාස්තු සංශෝධනයේදී 30%-40% ක ගාස්තු අඩු කිරීමක් !

414
0

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලිය උත්පාදනයට යොදාගැනෙන ජලාශවල ජලමට්ටම් ඉහළ යාමත් සමඟ මේ වනවිට එම බලාගාරවලින් ඉහළ ධාරිතාවකින් විදුලිය උත්පාදනය කරන බැවින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේදී 30%-40% ක විදුලි ගාස්තු අඩුකිරීමක් සිදුකල හැකි බව විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

ඔවුන් පෙන්වාදෙන ආකාරයට විදුලිබල මණ්ඩලයේ දත්ත අනුව පසුගිය දෙසැම්බර් 01 වනදා දිනද දිවයිනේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 62.2%ක්ම උත්පාදනය කර තිබෙන්නේ ජලවිදුලි බලාගාර උපයෝගී කරගෙනය.

ඉතිරි 38% විදුලිබල අවශ්‍යතාව ගල් අගුරු සහ පුනර්ජනනීය ප්‍රභව වලින් නිපදවන අතර මේ වන විට ද්‍රව ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීම ශූන්‍යවී ඇත.

නිදර්ශනයක් ලෙස විදුලි ඒකකයක් නිපදවීම සඳහා, ජල විදුලිය නම්, මහා බලාගාර ආශ්‍රිතව රුපියල් 4.50ක්, කුඩා බලාගාර රුපියල් 4.50-10.50 අතර, පුනර්ජනනීය – රුපියල් 20-35 ක්, ගල් අඟුරු ආශ්‍රීත රුපියල් 41ක් වශයෙන් විදුලි බලය නිෂ්පාදනයේ පිරිවැය විශාල වශයෙන් අඩුවී තිබේ. රුපියල් 115 ට අධික පිරිවැයක් දරන්න සිදුවන්නේ ඩීසල් ආශ්‍රිතව පමණි.

මේ ආකාරයට විදුලිබලය නිෂ්පාදනය වෙනුවෙන් වැයවූ පිරිවැය ඉතාම අවම වීමත්, අනෙක් අතට විදුලි බල මණ්ඩලය අධික ලාභයක් ලබා ඇති බවට එහි වෘත්තීය සමිති දිගින් දිගටම පෙන්වාදෙමින් ඇති පසුබිමේ පසුගිය මැතිවරණ සමයේ ජනාධිපති අනුර දිසානායක ඇතුළු ජාතික ජනබලවේගය පොරොන්දු වූ ආකාරයට විදුලි බිල අඩු කිරිමට පැහැදිළි හැකියාවක් පවතී.

විශේෂයෙන් ජනාධිපති අනුර දිසානායක පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ලබාදුන් ප්‍රමුඛ පොරොන්දුවක් වූයේද තමන් බලය ලබා ඉතාම කෙටි කාලයක් තුළ විදුලි ගාස්තුවේ දැනෙන අඩු කිරීමක් සිදුකර ජනතාව පීඩනයෙන් මුදවන බවයි. ඒ අනුව ආණ්ඩුව පැවසූ සහ ජනතාව වෙත පොරොන්දු වූ ආකාරයට විදුලි ගාස්තුවේ පැහැදිළි අඩුකිරීමක් සිදුකර ජනතාවට සහන සැලසීමේ අවස්ථාව හිමිව තිබේ.

මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසා සිටියේ 35% ත් 40%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩුකළ යුතු බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .

“මේ වෙනකොට කාර්තු ක්‍රමයට ගත්තාම හතරවෙනි විදුලි සංශෝධනයත් අපි භුක්ති විඳින්න ඕනේ. හැබැයි භුක්ති විඳින්න තියා මේ ආණ්ඩුව මේක ගැන තව හිතලාවත් නැති විදිහක් තමයි අපිට නම් පෙනෙන්නේ. මේ විදුලි බල මණ්ඩලයේ පත් කරපු සභාපතිවරයාට කොන්ත්‍රාත් සමාගමක් තියෙනවා විදුලි බල ක්ෂේත්‍රය ගැන. ඒ වගේම උප සභාපති ඉන්නවා ඔහුටත් කොන්ත්‍රාත් සමාගමක් තියෙනවා විදුලි ක්ෂේත්‍රය ගැන. ඉතිං මේවා තියෙද්දි විදුලි බිල අඩු වෙයිද?”
ඒනිසා මෙවර සංශෝධනයේදී විදුලි බිල අඩුවීමේ ප්‍රතිශතය 35%ත් – 40ත් ලබා දිය යුතුමයි. මොකද විදුලි බල මණ්ඩලය මේ වෙනකොට බිලියන 200කට වඩා ලාබ ලබමින් තමයි තියෙන්නේ.”

එසේම විදුලි බල මණ්ඩලයේ ආණ්ඩුව හිතවාදි වෘත්තීය සමිති නායකයා වන රංජන් ජයලාල් පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ මේ වන විට විදුලි බල මණ්ඩලය ලාභ ලබන බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ සේවක ප්‍රසාද දීමනා දිය යුතුව ඇති බවයි. ඒ සඳහා කටයුතු නොකළහොත් තමන්ට දෂ්ඨ කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

මේ හමුවේ ඇතැම් පාර්ශ්ව සැකසංකා මතුකරන්නේ විදුලි ගාස්තු අඩු කිරීම වෙනුවෙන් විදුලි බල මණඩලය විසින් ජාතික උපයෝගීතා කොමිසම වෙත ලබාදිය යුතු යෝජනා කල් යාම හමුවේ විදුලිබලය නිෂ්පාදනය වෙනුවෙන් වන පිරිවැය අඩුවීමේ වාසිය නිසි ආකාරයට ජනතාවට ලැබීමට වැලැක්වීමේ උත්සාහයක් ද යන්නයි. මේ වන විට 6%-11%ත් අතර මිල අඩුකිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය යෝජනා ලබාදී ඇතත් එය මහජන උපයෝගීතා කොමිසම පිළිගෙන නැත. නැවත යෝජනා ලබාදෙන ලෙස එම කොමිසම විසින් විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඇතත්, අවස්ථා දෙකකදී එය කල්දමා ගැනීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව විදුලි බල මණ්ඩලයේ යෝජනා ලබාදීමට නියමිතව තිබෙන්නේ දෙසැම්බර් 06 වනදාය. එතැන් සිට විදුලි ගාස්තු අඩු කිරීම අධ්‍යයනය කර නිවේදනය කිරීමට උපයෝගීතා කොමිසමට සති කිහිපයක් ගතවන අතර දැනට වාර්තා වන ආකාරයට 2025 ජනවාරි 17 පමණ වනු ඇත. ඒ පසුබිමේ විදුලි පාරිභෝගිකයන් බලා සිටින්නේ පමාවී හෝ විදුලි බිලට දැනෙන සහනයක් ලැබෙනතුරු ය.

Previous articleඑළඹෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමයට
Next articleප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කරන්න – ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අනතුරු අඟවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here