Home අද මාස හතරකට අතුරු සම්මත ගිණුමක්

මාස හතරකට අතුරු සම්මත ගිණුමක්

80
0

ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස හතරක කාලයකට අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට  අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට  අදාළ රුපියල් බිලියන 213.373 ක  අතුරු සම්මත ගිණුම සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම යෝජනා පහත පරිදි වේ.

01. ශ්‍රී ලංකා රජයේ ශේෂ පත්‍රයට මාරු කරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් බැංකු වෙත ලබා දීමට නියමිත පොලී සහනාධාර ගෙවීම පිණිස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 130,000ක ප්‍රතිපාදන සලසා ගැනීම

02. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නමින් ඇති ඩොලර් ගිණුම්වල පවතින ශේෂය මත ඇති වී ඇති විනිමය අලාභය ගිණුම්ගත කිරීම පිණිස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 18,000ක ප්‍රතිපාදන සලසා ගැනීම.

03. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂිත පොලී අනුපාතික ලබා දීමේදි බැංකු විසින් දරන ලද අමතර පොලී ගෙවීම් ප්‍රතිපූරණය කිරීම පිණිස සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 32,641ක ප්‍රතිපාදන සැලසීම.

04. චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදිවල වටිනාකම ගිණුම්ගත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 9,829ක ප්‍රතිපාදන සලසා ගැනීම.

05. අමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලැබී ඇති ගුවන් යානා 02 වටිනාකම ගිණුම්ගත කිරීම සහ බදු ගෙවීම පිණිස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් මිලියන 8,331ක ප්‍රතිපාදන සලසා ගැනීම.

06. වැඩි කරන ලද විශ්‍රාමික දීමනා ගෙවීම පිණිස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,4000ක ප්‍රතිපාදන සලසා ගැනීම.

07. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව මූල්‍ය/ නීති උපදේශකයින් වෙත ශ්‍රී ලංකා මහ බැකුව විසින් සිදුකරන ලද ගෙවීම ප්‍රතිපූරණය කිරීම පිණිස මුදල් අමාත්‍යංශය වෙත රුපියල් මිලියන 3,213ක ප්‍රතිපාදන සලසා ගැනීම.

08. චීන රජයේ ප්‍රදානයක් ලෙස උතුරු හා නැගෙනහිර පළාත්වල කුඩා පරිමාණ ධීවරයින් සඳහා සහන සැලසීමට ලැබී ඇති හදිසි ආදාර ගිණුම්ගත කිරීම පිණි ධීවර අමාත්‍යංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුවක් වෙත රුපියල් මිලියන 1,533ක ප්‍රතිපාදන සැලසීම.

09. ජපන් රජයේ ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා සඳහා ලැබී ඇති ඉන්ධන තොගවල වටිනාකම ගිනුම්ගත කිරීම හා රුපියල් මිලියන 5225.5ක තීරු බදු ගෙවීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 10,826ක ප්‍රතිපාදන සලසා ගැනීම.

10. පාසල් පෝෂණ වැඩසටහන සඳහා එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් දෛනිකව දැරිය යුතු මුදල රුපියල් 85/- සිට රුපියල් 110/- දක්වා වැඩි කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,800ක ප්‍රතිපාදන සලසා ගැනීම.

11. ස්වභාවික ආපදා හේතුවෙන් හානියට පත් වූ දේපළ ප්‍රතිසංස්කරනය සඳහා වන්දි ගෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන සලසා ගැනීම.

12. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාරවල රැඳවියන් වැඩිවීම සහ ආහාර මිල ඉහල යාම හේතුයෙන් ආහාරපාන සඳහා දැරිය යුතු පිරිවැය ඉහළ යාම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,400ක ප්‍රතිපාදන සලසා ගැනීම.

දෙසැම්බර් මස 5 සහ 6 යන දිනවල මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට දින වෙන් කර ඇති බව අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Previous articleBIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි
Next articleරනිල්ගේ යෝජනාවට අනුර කැබිනට් අනුමැතිය අරගෙන !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here