Home අද සිලින්ඩරේ රැස්වීමට හදිසියේම රවී එයි. වෙච්ච දේ මෙන්න

සිලින්ඩරේ රැස්වීමට හදිසියේම රවී එයි. වෙච්ච දේ මෙන්න

147
0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා පුද්ගලයකු නම් කර ගැනීමට අද පැවති රැස්වීම ට නම් කිහිපයක් ඉදිරිපත් වීම නිසා තීරණයකින් තොරව එම රැස්වීම අවසන්ව ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේදී මෙම රැස්වීම පැවති අතර ඊට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග මැතිවරණයට ඉදිරිපත් වූ අනෙකුත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් පැමිණ තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් රවී කරුණානායක මහතා විසින් ඒ සම්බන්ධව ද අද පැවති සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානය යොමුකොට තිබේ.

රවී කරුණානායක මහතා මන්ත්‍රී ධූරය ලබාගෙන ඇත්තේ කිසිදු පාර්ශ්වයක අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයට බවත් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් රැස්වීමට සහභාගි වූ සියලු සාමාජිකයන්ගේ ස්ථාවරය වූ බව හිටපු ජ්යෙෂ්ඨ ඇමතිවරයෙක් පැවසීය.

ඉතිරිව ඇති මන්ත්‍රී ධූරය සඳහා කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රොනල්ඩ් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන. යන අයගේ නම් යෝජනා වී ඇත.

රැස්වීමට සහභාගි වූ බොහෝදෙනෙක් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය කංචන විජේසේකර මහතාට ලබා දිය යුතු බවයි. එහෙත් එම යෝජනාවට දැඩි විරෝධයක් පළකළ බන්දුල ගුණවර්ධන මහතා මෙම මන්ත්‍රී ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදිය යුතු බවට යෝජනා කොට තිබේ.

ඒ අවස්ථාවේ නිමල් ලන්සා මහතා ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රී ධූරය තරුණ නියෝජිතයකුට ලබාදීම සුදුසු බවය.
ඉදිරියේදී විපක්ෂයට පාර්ලිමේන්තුවේ විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට සිදුවන බවත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා කිසිදු සුදුස්සකු නොවන බැවින් දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් වන බව බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී දිගින් දිගටම ප්‍රකාශ කොට ඇත.

මෙම කතා බහ යන අතරතුර එම රැස්වීමට හදිසියේම රවී කරුණානායක මහතා පැමිණ ඇත. රවි එහි පැමිණෙනවාත් සමඟ ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඩැහැගැනීම සම්බන්ධයෙන් එහි සිටි බහුතරයකගේ විරෝධය පළ වී තිබේ.

“මේ මන්ත්‍රී ධූරය මම බලහත්කාරයෙන් හෝ හොරෙන් ලබාගත්ත එකක් නොවෙයි. මෙය මම ලබා ගත්තේ පක්ෂයේ මහලේකම් හරහා නීත්‍යානුකූල ආකාරයටයි. එතන ඇති වැරැද්දක් නැහැ. මැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී මට මන්ත්‍රී ධූරයක් ලබා දෙන බවට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව විශ්වාස කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු පක්ෂය මහා මැතිවරණයට තරග කිරීමට ලබාදීම සඳහා අප තීරණය කළා. ඒ අනුව මේ මන්ත්‍රී ධුරය මට ලැබීම ඉතාම සාධාරණ බව කිව යුතුයි.” යයි රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

මෙම මන්ත්‍රී ධූරය ලබාගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ හෝ මැතිවරණයට ඉදිරිපත් වූ හවුල්කාර පක්ෂවල කිසිදු අනුදැනීමකින් හෝ සාකච්ඡාවකින් තොරව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

හොර රහසේ මන්ත්‍රී ධුරය ලබා ගනිමින් රවී කරුණානායක මහතා සිදුකොට ඇත්තේ බරපතළ වරදක් බවත් ඒ සම්බන්ධව ඔහුට විරුද්ධව පියවර ගත යුතු බවත් සාකච්ඡාවට එක් වූ සෙසු පක්ෂ වලට අයත් ක්‍රියාකාරීහු පෙන්වා දී ඇත.

රවී කරුණානායක මහතාගේ මෙම ක්‍රියාව සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ දැඩි අවධානය ඇති බවත් පක්ෂය රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් පක්ෂ ක්‍රියාකාරීන් නැගුව පැනයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ.

ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූ බැවින් යළිත් හෙට 20 රැස්වී සාකච්ඡා කිරීමට තීරණය වී ඇත.

Previous articleරවීට මෙච්චර ආරක්ෂාවක් දුන්නේ ඇයි? (VIDEO)
Next articleදසවෙනි පාර්ලිමේන්තුවේ බිමල්ට තවත් වගකීමක් – නලින්දට තවත් ඉහළ පුටුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here