Home අද නිලන්ති ගේනවා කියනවා – ටිල්වින් නෑ කියනවා. දෙන්නම ජනතාව අන්දවනවා – අනුරාධ...

නිලන්ති ගේනවා කියනවා – ටිල්වින් නෑ කියනවා. දෙන්නම ජනතාව අන්දවනවා – අනුරාධ ජයරත්න

92
0

අනුර දිසානායක පාලනය බලය ගැනීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩපිළිවෙළ සංශෝධනය කර ජනතාවට සහන දෙන බව පැවසුවත් එම වැඩසටහනේ එක් වගන්තියක් හෝ වෙනස් කර නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

නිලන්ති කොට්ටච්චි උගන්ඩාවේ හංගපු ඩොලර් මෙරටට ගෙනෙන බව පැවසූ නමුත් ටිල්වින් සිල්වා පැමිණ තමන්ගේ පක්ෂයේ කිසිවෙක් එවැනි ප්‍රකාශ සිදුකර නොමැති බව පවසමින් ජනතාව මුලා කරන බව පෙන්වා දුන් ඒ මහතා ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව ද කැබිනට් ප්‍රකාශක සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති එකිනෙකාට පරස්පර අදහස් දක්වමින් එකී කාර්‍යයම සිදුකරන බව සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන්, පැවති මහනුවර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා විසින් සංවිධානය කර තිබූ මෙම කාන්තා සමුළුව සඳහා දිස්ත්‍රික්කයේ කාන්තා දේශපාලන ක්‍රියාකාරිනියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී සමුළුව ඇමතූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .

මහනුවර දිස්ත්‍රික්කයේ අප සමඟ දේශපාලන කටයුතු කරන කාන්තා ඔබ සැම කැඳවා මේ ආකාරයට කාන්තා සමුළුවක් පැවැත්වීමට අදහස් කළත් මෙතරම් ප්‍රමාණයක සහභාගිත්වයක් අපේක්ෂා කළේ නෑ . එතරම් නොසිතූ කාන්තාවන් ප්‍රමාණයක් මේ සමුළුවට පැමිණියා කියන එකත් ජයග්‍රහණයක් බව කිව යුතුයි. එසේම ඔබේ මේ පැමිණීම අපට ශක්තියක්. මොකද ඔබේ ශක්තිය අතිවිශාලයි. ඒ සම්බන්ධයෙන් ඔබසැමට මාගේ ගෞරවය , ප්‍රණාමය පුදකර සිටිනවා.

අනුර දිසානායක ජනාධිපති ධූරය සඳහා පත්වුණේ ජනතාව ගේ ජන්දයෙන්. මගේ පෞද්ගලික විශ්වාසය නම් එසේ ජන්දයෙන් පත්වූ නායකයෙක් ඔලුගෙඩි මාරු කරලා , කකුලෙන් ඇදලා වට්ටන්න නරකයි. එය පාර්ලිමේන්තුවට වගේම පළාත් සභාව සහ ප්‍රාදේශීය සභා, නගර සභා සඳහා ද අදාළ විය යුතුයි. ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අප සුරක්ෂිත කළ යුතුයි. අපි ලෝකයේ දියුණු රටවල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගත්තත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නෑ . ඒක කාලයක් තිස්සේ තිබෙන ගැටළුවක් .ඒ නිසා ඒ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා.

එසේ නම් අපි ගෑස් සිලින්ඩරය කණ්ඩායම හැටියට මේ මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ ඇයි කියන කාරණය පැහැදිලි කරන්නම්.

අපි මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ යළිත් මේ රට 2022 වසරේදී මෙන් ආර්ථික කඩා වැටීමකට ඉඩනොදීම සඳහා යි. ඔබට මතක ඇති 2022 වසරේ රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වුණා. අගමැතිවරයකු නැතුව, අමාත්‍ය මණ්ඩලයක් නැතුව දින 13ක් රට අරාජිකව තිබුණා.

සාමාන්‍යයෙන් විපක්ෂය හඳුන්වන්නේ විකල්ප ආණ්ඩුව ලෙසයි. විපක්ෂ නායකයාට කාර්‍ය මණ්ඩලයක් දීලා , කාර්‍යාල පහසුකම් දීලා, වරප්‍රසාද දීලා , මහජන ධනය යොදවා නඩත්තු කරන්නේ ඒ සඳහා යි. නමුත් එදා විපක්ෂ නායකයා රටේ වගකීම භාරගත්තේ නෑ .

ඔබ මතක තබාගන්න ආයෙත් මේ රට ආර්ථික කඩාවැටීමකට ලක්වුණොත් නැවත ගොඩගන්න වසර 5-10ක් යනවා. වසර 10කින් රට ආපස්සට යනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ ? අපේ රටේ ව්‍යවසායකයන් ඉන්නේ 3%ක් වගේ ඉතාම සුළු ප්‍රතිශතයක්. ඔවුන් ඉන්ධන නැති නිසා , විදුලිය නැති නිසා කර්මාන්ත අත්හැර රටින් පිටවුණොත් රැකියා කොපමණ ප්‍රමාණයක් නැති වෙනවාද ? අදටත් උපාධිධාරීන් කීයක් ඉන්නවාද රැකියා නැතුව. එහෙම තත්ත්වයක් යළිත් රටේ මතුවුණොත් බරපතළ අර්බුදයකට ගමන් කරනවා .

ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ අපි එළැඹෙන නොවැම්බර් 14 වනදා ට ඔබේ ජන්දය ඉල්ලා සිටින්නේ එවැනි තත්ත්වයක් යළිත් ඇතිවීම වැළැක්වීම සඳහා යි. අනුර දිසානායක ගේ වත්මන් පාලනය බිලියන 60කට අධික මුදලක් මේ දින කිහිපය තුළ ණයට ගෙන තිබෙනවා . තවත් රුපියල් බිලියන 100 ක පමණ මුදල් මුද්‍රණය කිරීමට අනුමැතිය අරගෙන තියෙනවා . ඒ කියන්නේ ඔවුන් යන්නෙත් පරණ වැරදි පාරේ බව පැහැදිලියි.

නමුත් මා ඔබට කිවයුතුයි , අපේ ආණ්ඩුව ජනතාවට අස්වැසුම , සමෘද්ධිය , වැඩිහිටි දීමනාව , ආබාධිත දීමනාව , පොහොර සහනාධාරය දුන්නේ ණයට අරගෙන හෝ මුදල් මුද්‍රණය කර නොවෙයි. පසුගිය සමයේ ඔබේ ප්‍රදේශයේ පාරවල් සඳහා කොන්ක්‍රීට් දැමුණේ, පාලම් බෝක්කු ඉදිවුණේ, විවිධ සංවර්ධන ව්‍යාපෘති ගමට ආවේ, ණයට ගත් මුදල් හෝ මුදල් මුද්‍රණය කිරීමෙන් නොවෙයි.

එදා අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉලක්කයක් දුන්නා ආර්ථික වර්ධනය 2%ක් කරගන්න කියලා. අපි ආර්ථික වර්ධනය 4.2%ට ගෙනාවා. අපි ඒ ආකාරයට තමයි මුදල් සපයා ගත්තේ. නමුත් අනුර දිසානායක පාලනය යන්නේ පරණ වැරදි පාරේ. දිගටම මේ ආකාරයට ගියොත් රට වැටෙනවා. ඒක නවත්වන්න කාටත් බෑ.

ඒ වගේම තමයි අපේ රට ණය අර්බුදයක සිටිනවා. අපේ ණය තිබෙන්නේ ඉන්දියාව , චීනය , පැරිස් සමාජය ඇතුළු යුරෝපීය රටවලටයි. ඒ නිසා අපි රටක් ලෙස ඉදිරියට යන්න නම් විදෙස් සබඳතා ශක්තිමත් කරගත යුතුයි. පසුගිය දිනවල වැදගත් ජාත්‍යන්තර සමුළු දෙකක් තිබුණා. ඒ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සහ බ්‍රික්ස් සමුළුව. මේ සමුළු දෙක සඳහා ම නිල ආරාධනා ලැබී තිබියදීත් ජනාධිපතිවරයා ඒ කිසිවකට සහභාගි වුණේ නෑ . එහෙම පුළුවන් ද රටක් ඉදිරියට ගෙනියන්න .

නමුත් අපේ ආණ්ඩුව ඉන්දියාව , චීනය ඇතුළු ලෝක බලවතුන් මෙන්ම ඉරානය සමඟ පවා ශක්තිමත් විදෙස් සබඳතාවක් පවත්වා ගත්තා. ඒක නොබැඳි ප්‍රතිපත්තියක්. නමුත් මේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය පැහැදිලි නෑ .

මාස දෙකකට පෙර, බලය ගැනීමට පෙර මේ උදවිය කියපු කතා මොනවද ? ඔවුන් බොරු කියලා ජනතාව ගේ මනස අවුල් කළා. බිත්තරයෙන් පවා අපේ ඇමතිවරුන් කොමිස් ගහනවා කිව්වා. රුපියල් 300 ට තෙල් දෙන්නේ කංචන විජේසේකර ඇමතිතුමාට කොමිස් යන නිසා කිව්වා. ජනතාව ඒ කතා වලට රැවටුණා.

ඒ වගේම ජවිපෙ මාලිමාවේ නිලන්ති කොට්ටච්චි කියන අපේක්ෂිකාව කිව්වා උගන්ඩාවේ හංගපු ඩොලර් ගේන්න ඕන නේද ? ඒවා අපිට ඕන නේද කියලා . හරි ලස්සනට කිව්වා. නමුත් දැන් ටිල්වින් ඇවිත් කියනවා ඔවුන් එහෙම කිව්වේ නෑ කියලා .
උදේ වරුවේ ඇමැති විජිත හේරත් කියනවා ඉන්ධන මිල සංශෝධනය කළේ මිල සූත්‍රය අනුව නෙවෙයි , විශේෂ ක්‍රමවේදයකට කියලා. හවස ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති කියනවා ඉන්ධන මිල සංශෝධනය කළේ මිල සූත්‍රය අනුව තමයි කියලා. මේ මොන ආණ්ඩුවක්ද ? මෙහෙම පුළුවන් ද රටක් කරන්න.

වත්මන් ආණ්ඩුව බලය ගන්න කලින් කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සංශෝධනය කරලා , ජනතාවට සහන දෙනවා කියලා . නමුත් එක වගන්තියක් සංශෝධනය කරලා නෑ. මේ ආකාරයට බොරු කියලා තමයි ඔවුන් බලය ගත්තේ.

ඒ නිසා නොවැම්බර් 14 වනදා ඔබේ ජන්දයට වටිනාකමක් දෙන්න. අපි අද වපුරණ බීජ අනුව තමයි ඊළඟ අස්වැන්න තීරණය වෙන්නේ. ඒ නිසා මේ මැතිවරණයේ දී නිවැරැදි තීරණය ගන්න. ඔබ මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය කණ්ඩායමට දෙන ශක්තියට වටිනාකම ලැබෙන්නේ තවත් අවුරුද්දක් එකහමාරක් යන විටයි. මම සහතිකව කියනවා, අනුර දිසානායක පාලනය දිගටම රට ගෙනියන්නේ මේ ආකාරයට නම් , තවත් අවුරුද්දක් එකහමාරක් යන තැන ඔහුට සිදුවෙනවා අපි බලය භාරදෙන්න. අන්න එදාට ඔලුගෙඩි මාරු නැතුව ගෞරවනීය විදිහට රට භාරගන්න සමත් විපක්ෂයක් නිර්මාණය කරගන්න ඔබගේ සහයෝගය ශක්තිය එකතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා .

Previous articleBoot එක තිබ්බ පෙම්වතිය සොයා තුවක්කු, පිහි, වෙඩි බෙහෙත් රැගෙන පෙම්වතා නිවසට යයි
Next articleත්‍රීපෝෂ සමාගම ඈවරයි ! – මෙරට එකම පෝෂණ වැඩසටහන නවතී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here