Home අද අනුර දිසානායක රටේ ජනාධිපති වුවත් හැසිරෙන්නේ විපක්ෂයේ ඉන්නවා වගේ – අනුරාධ ජයරත්න

අනුර දිසානායක රටේ ජනාධිපති වුවත් හැසිරෙන්නේ විපක්ෂයේ ඉන්නවා වගේ – අනුරාධ ජයරත්න

95
0

වෙනසක් කරන්න කියා මෙරට පාලන බලය ලබාගත් අනුර දිසානායක ණයට ගෙන සහ මුදල් මුද්‍රණය කර ගමට කන්න දෙන පැරණි ක්‍රමයට යළි අවතීර්ණ වී ඇති බවත් මේ ආකාරයටම ඉදිරියටත් කටයුතු කළහොත් යළිත් රට ආර්ථික වශයෙන් කඩාවැටී බරපතළ අර්බුදයකට ගමන් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.

යළිත් මේ රට කඩා වැටුණහොත් රටේ පෝලිම් යුගයක් ඇතිවීම අනිවාර්යයක් වන බව පැවසූ ඒ මහතා රට එතැනට වැටෙන්නට පෙර ආරක්ෂා කර ගැනීමට නම් නොවැම්බර් 14 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ බහුතරයක් පාර්ලිමේන්තු යවා ගෞරවනීය විපක්ෂයක් වෙනුවෙන් ශක්තිය එක්කළ යුතු බවද අවධාරණය කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන්, ගලගෙදර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

අනුර දිසානායක පාලනය ආණ්ඩුකරණ ආකාරය අනුව තවත් වසර එකහාමාරක් යන තැන මෙරට පාලනය බාරගැනීමට ගෑස් සිලින්ඩරය කණ්ඩායමට සිදුවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙසේද පැවසීය.

මේ වෙනකොට මේ රටේ ජනතාව ජනාධිපති විදිහට ජාජබ නායක අනුර දිසානායක තෝරාගෙන තියෙනවා. එවැනි පසුබිමක ඇයි ඔබලා ගෑස් සිලින්ඩරයට ජන්දය දෙන්න අවශ්‍ය. එහිදී පලවෙනි කාරණය ලෙස පැවසිය යුත්තේ නොවැම්බර් 14 ජන්දය ඉවරවෙලා, ඊට පහුවදා අනුර දිසානායකගේ ආණ්ඩුව වට්ටන්න තරම් කුහක නෑ. යම් විදිහකට රට වැටුණොත් ඒ කඩා වැටෙන්නේ සමස්ත රට බව මතක තබාගත යුතුයි. ඔබට මතක ඇති 2022 දී රට වැටුණු ආකාරය. එහිදී 69 ලක්ෂය කියා හෝ 54 ලක්ෂය කියා වෙනසක් තිබුනේ නෑ. නිල කොළ රතු භේදයක් තිබුනෙත් නෑ. අපි සේරටම පෝලිම් වල ඉන්න වුණා. ඒ නිසා මේ රට නැවත කඩාගෙන වැටුණොත් රට ආයෙත් පෝලිම් යුගයකට යනවා. එතනට රට වැටෙන්න කියන කුහක දේශපාලනයේ අපි නෑ . නමුත් අනුර දිසානායක ජනාධිපතිව මේ ගෙවුණු දින හතලිස් ගණනක කාලය තුළ සියල්ල දින 24ක් යන තැන බිලියන 60ක ණය ගත්තා . දින 41 වෙනකොට තවත් බිලියන 100ක් අච්චු ගහන්න අනුමැතිය දීලා . දින 41ක් තුළ බිලියන 160ක ණය ගන්නවා නම් , වෙනසක් කරන්න කියා පැමිණි අනුර දිසානායක පාලනය මේ රට ඉදිරියට ගෙනියන්න හදන්නේ මෙහෙම නම් ඉදිරියේදී බරපතල ගැටලුවකට මුහුණදෙනවා.

ඔබතුමන්ලා දන්නවා පසුගිය වසර දෙක ඔබතුමන්ලාගේ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, අස්වැසුම ඇතුළු සමෘද්ධි දීමනාව, පොහොර සහනාධාරය ලබාදීම ඇතුළු සියලු දේ කලේ ණය අරගෙන හෝ මුදල් මුද්‍රණය කර නෙවෙයි. ඒවා කලේ රාජ්‍ය ආදායම් නිසිලෙස කළමනාකරණය කරලා . නමුත් දැන් නැවත වතාවක් පරණ ක්‍රමයට ණයට අරගෙන ගමට කන්න දෙන ක්‍රමය ආරම්භ කරලා . ඔබතුමන්ලා දකින්න ඇති පසුගිය සමයේ ඔබේ මේ නියෝජිතයන් කොටියක විතර ගමට වැඩ කළා . එහිදී ගමට පාරක් ආවා ., පාර කොන්ක්‍රීට් කෙරුනා , පාලම බෝක්කු ඉදිවුණා. ඒ වන විටත් බංකොලොත් රටක් වුණත් ඒ කටයුතු සිදුකළ ආකාරයත් මම අද කියන්නම්.

එදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපිට කිව්වේ ආර්ථික සංවර්ධනය 2%ට ගන්න කියලා . නමුත් අපි එය 4.2% ට ගෙන එන්න සමත්වුණා . සරලව කිව්වොත් ගලගෙදර තියන පෙට්ටි කඩේට රුපියල් 1000 ක නම් දෛනික වෙළඳාම තිබුණේ , අපි එය 2200ට වැඩි කළා . ඒ වැඩිවුණ ආදායම තමයි පෙරළා ඔබේ ගමට ආවේ . රටක විය යුත්තේ එයයි . එහෙම නැතුව මුදල් මුද්‍රණය කරලා , එහෙමත් නැත්නම් කොහේ හෝ රටකින් ණයට අරගෙන කන්න දෙනවා කියන්නේ රට වැටෙන එක නතර කරන්න කාටවත් බෑ.

ඒ වගේම තමයි මේ වන විට අපි හම්බ කරලා කනවා, නමුත් 2028 වෙනකොට, හම්බකරලා, ණයත් ගෙවලා තමයි කන්න වෙන්නේ . 2031වන විට ඒ වගේ දෙගුණයක් ගෙවන්න පටන් ගන්න සිද්ධ වෙනවා . එතනට යන්න නම් අද සිට මේ රටට වැඩපිළිවෙලක් තියෙන්න අවශ්‍යයි . එහෙම නොවුණොත් , මේ රට බරපතල අර්බුදයකට ගමන් කරනවා . ඒ වගේම තමයි මැතිවරණයකට පසුව ජනාධිපතිවරයෙක් පත්වූ පසුව ආසන්නතම ඉන්දියාව චීනය ඇතුළු සමීප රටවල් වෙත ගිහින් අවශ්‍ය ද්වී පාර්ශවීය සාකච්ඡා පවත්වනවා . නමුත් අපේ ජනාධිපති තවමත් ඒ කටයුත්ත සඳහා ගිහින් නෑ . ඒ එක්කම පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ආරාධනා ලැබුණා . අපේ ජනාධිපති නෑ . බ්‍රික්ස් සමුළුව පැවැත්වුණා . ඉන්දියාවේ මෝදී අගමැතිතුමා ඊට එනවා . රුසියාවේ පුටින් ජනාධිපතිවරයා එනවා . ලෝකයේ ප්‍රබල රාජ්‍ය ගණනක නායකයන් එනවා . බ්‍රික්ස් රටවල ජනගහනය බිලියන 3.2ක්. ඒ කියන්නේ එය අතිවිශාල වෙළඳපොළක් . ඔවුන්ගේ ඒකාබද්ධ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 26ක්. එවැනි අතිශය වැදගත් සමුළුවකට යවන්නේ නිලධාරීන් පිරිසක්.

අනුර දිසානායක මේ රටේ ජනාධිපති වුවත් ඔහු හැසිරෙන්නේ මේ රටේ විපක්ෂයේ සිටින ආකාරයටයි . ඔහුට එසේ හැසිරෙන්න බෑ . ඔහු හිතාගෙන ඉන්නවද දන්නේ නෑ අපිට ගෙවීමට තිබෙන ඩොලර් බිලියන 31 ක විදෙස් ණය ගලගෙදර හන්දියේ පොලී මුදලාලිට ගෙවන්න තියන ණයක් කියලා . එහෙම හිතාගෙන ඔහු හැසිරෙන්නේ . නමුත් අපි මේ ණය ගෙවන්න තියෙන්නේ , චීනය , ඉන්දියාව , පැරිස් ක්ලබ් ඇතුළු ණය හිමි රටවලටයි . ඒ නිසා ඔවුන් සමඟ ශක්තිමත් රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගත යුතුයි . එතැනදී භාෂා ගැටළු ඇත්නම් එය බාධාවක් කරගත යුතු නෑ . චීනය රුසියාව වැනි රටවලට ගියත් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න වෙන්නේ නෑ . සියලු රාජ්‍ය නායකයන්ටම ඉංග්‍රීසි හැකිවිය යුතුයි කියලා නෑ . නමුත් ඔහුට හොඳ දර්ශනයක් තිබිය යුතුයි . එවිට හැකියාව තිබෙන මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන මේ රට හදන්න පුළුවන්.

නොවැම්බර් මාසය වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ තුන්වන සමාලෝචනය සිදුකළ යුතුයි . එය තවමත් නෑ . ඒ නිසයි අපි කියන්නේ , අපි ඉදිරිපත්වෙන්නේ හෙට ආණ්ඩුව ගෙදර යවන්න නෙවෙයි . නමුත් ඔබේ කතිරය හෙට රටේ අනාගතය තීරණය කරනවා . මේ රට අදටත් තියෙන්නේ දැඩි සත්කාර ඒකකයේ . රට මෝචරියට යවනවද , සාමාන්‍ය වාට්ටුවට යවනවද කියන දේ තීරණය වෙන්නේ ඔබේ කතිරයෙන්.

එදා ඔවුන් කිව්වා අනුර ජනාධිපති වුණාට පස්සේ අඩු මිලට බිත්තර දෙනවා කියලා. එදා පැවති බිත්ත මිලෙන් රුපියල් 8ක් ඇමතිගේ සාක්කුවට යනවා කිව්වා . ඒ කාලේම තමයි අනුර ජනාධිපති වුණා, බිත්තරේ මිලත් එක පාරට අඩු වුණා . ඒ පාර එක කෙළියයි , අනුර ආවා , බිත්තරේ මිල බැස්සා , ඒ කොමිස් නොයන නිසා කියලත් කිව්වා . හැබැයි සතියක් යන තැන ආපසු බිත්තරේ මිල ඉහළ ගියා . දැන් වෙච්ච දේ අහන්න වෙන්නේ කිකිලිගෙන් තමයි . තෙල් මිල ගැන ඔවුන් මොකක්ද එදා කිව්වේ . ඔවුන් කිව්වා තෙල් ලීටරයකින් කංචන විජේසේකර ඇමතිතුමාගේ සාක්කුවට රුපියල් 120ක් යනවා කියලා . අද අපිට අහන්න වෙනවා ඒ කියපු රුපියල් 120 ගන්නේ නුර දිසානායක ද කියලා . ඒ නිසා තවදුරටත් මේ වගේ බොරු වලට ජනතාව රැවටුණොත් මේ රට තමයි කඩා වැටෙන්නේ . අපේ රටේ මතවාද හදන්න හරි ලේසියි. දැන් අර සුදුරෙදි හොරා කියලා කුරුල්ලෙක් හිටියට ඒ කුරුල්ලා සුදුරෙදි හොරකමේ යනවා නෙවෙයි. නමුත් කතාව හදන්නේ එහෙමයි.

ඒ නිසා ඔබත්මන්ලා නිවැරදි තීන්දුව ගත්තේ නැත්නම් කවදාවත් මේ රට හදන්න බෑ. අපි ගෑස් සිලින්ඩරය කණ්ඩායම හැටියට ඉදිරිපත් වෙලා ඉන්නේ , ඒ කණ්ඩායමට ඔබතුමන්ලාගේ සහයෝගය ශක්තිය එකතු කරන්න අවශ්‍ය වෙන්නේ ගෞරවනීය විපක්ෂයක් හදන්නයි . එහිදී 2022 මෙන් ඉදිරියේදී මේ රට කඩා වැටෙනකොට මේ රට බාරගන්න කණ්ඩායමක් අවශ්‍යයි . එසේ නොමැතිව මුළුමනින්ම කඩා වැටුණොත් , යලිත් අවුරුදු 5-10ක් යනතුරු මේ රටට ඔලුව උස්සන්න ලැබෙන්නේ නෑ . අදටත් බංග්ලාදේශයට සිදුව ඇති ඉරණම බලන්න. එදා අපි දුෂ්කරතාවට මුහුණදුන් වෙලාවේ ඔවුන් අපිට ඩොලර් මිලියන 200ක් ණයට දුන්නා. නමුත් අද ඔවුන්ට එදාවේල ගෙවන්න බැරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහින් සිටිනවා.

මේ සියලු කරුණු එක්ක තමයි අපි කියන්නේ , ගෑස් සිලින්ඩර කණ්ඩායමට ඔබේ ශක්තිය එකතු කරන්න කියලා . ඔබතුමන්ලා ලියලා තියාගන්න නැවත මේ රට තවත් අවුරුදු එකහාමාරකින් බලය බාරගන්න වෙන්නේ අපේ කණ්ඩායමටයි . ඒ වෙනුවෙන් ඉදිරි මැතිවරණයේදී වැටුණු රට ගොඩගෙන අත්දැකීම් ඇති ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ බහුතරය සිටින ගෞරවනීය විපක්ෂයක් සඳහා නොවැම්බර් 14 වනදා ඔබේ ශක්තිය එකතු කරන්න.

Previous articleවිජය ඝාතනය කළ පරිදිම, මා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ද? – චන්ද්‍රිකා රවී සෙනෙවිරත්නට ලියයි
Next articleඅල්ලස් ගත්තු හිටපු නියෝජ්‍ය ඇමතිට වැඩ වැරදියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here