අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, දේශීය වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 347,500ක ණය ලබාගෙන ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව පවසන ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, මීට පෙර සිදුකළ පුරෝකථන අභිබවමින් මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය 4.4% ක් දක්වා ළඟා වනු ඇති බවයි.
වසරකට දෙවතාවක් ලෝක බැංකුව නිකුත් කරන දකුණු ආසියා සංවර්ධන ඇගයුමෙහි කොටසක් වන ” ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම – අනාගතය සඳහා විවෘත කිරීම” වාර්තාව ඊයේ එළිදක්වනු ලැබුවා.
එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති අතර, මීට පෙර සිදුකළ පුරෝකථන අභිබවමින් මෙම වසරේදී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟාවනු ඇති බවයි.
එමෙන්ම ලබන වසර සඳහා ශ්‍රී ලංකාවට 3.5%ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක්ද පුරෝකථනය කර තිබෙනවා.
කර්මාන්ත සහ සංචාරක අංශ මගින් දැක්වූ දායකත්වය මුල්කර ගනිමින් කාර්තු 4ක් පුරා සිදුව ඇති ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම, තීරණාත්මක, ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩනැඟී ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, අපනයන ඉහළ නැංවීමට, විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, දිළිඳුකම පිටුදැකීම, සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති අවදානම වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා අඛණ්ඩ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද එහි සඳහන්.
මේ අතර අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, දේශීය වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 347,500ක ණය ලබාගෙන ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතු මඟින් මේ වසරේ පළමු මාස 08 තුළ පමණක් දේශීය වෙළෙඳ පොළෙන් මාසිකව ලබා ගෙන තිබූ ණය ප්‍රමාණය ද රුපියල් බිලියන 800 කට අධිකයි.
මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුව 09 වැනිදා රුපියල් මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කැඳවා තිබූ අතර, එය මෙම මාසයේ සිදුකළ දෙවැනි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියයි.
මේ සඳහා රුපියල් මිලියන දෙලක්ෂ හතලිස් තුන්දහසක පමණ ඉල්ලුමක් ලැබී තිබුණු අතර, එය එම නිකුතුව මෙන් තුන් ගුණයක ඉල්ලුමක්.
මේ අතර නව රජය යටතේ පළමු වරට හෙට රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ද සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බාධාවක් බවයි.