Home අද  අනුර කුමාරත් දැන් අපේ මාර්ගයේම එනවා පේනවා – ඒගැන සතුටුයි  – ජනාධිපති...

 අනුර කුමාරත් දැන් අපේ මාර්ගයේම එනවා පේනවා – ඒගැන සතුටුයි  – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

1403
0

ආර්ථික වශයෙන් රට ශක්තිමත්වීමට අපනයන ආර්ථිකයකට යොමුවිය යුතු යැයි ජාතික ජන බලවේගය ද ප්‍රකාශ කර ඇති බවත් තමා වසර ගණනාවක සිට ඉදිරිපත් කරන වැඩපිළිවෙලට අවසානයේ ඔවුන්ද එකඟවීම පිළිබඳ සතුටු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා ප්‍රකාශ කළේය.

අද(06දා) දෙණියායේදී පැවති “පුළුවන් ශ්‍රී ලංකා’ ජනහමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

අනුර කුමාර එසේ පැවසුවද එහි සමාජික සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක් එයට විරැද්ධව කටයුතු කරන බවත් එහෙයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති තුළ පරස්පරයක් ඇතිව තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගයේද කොටස් කිහිපයකට වෙන්ව ඇති බවත් ඔවුන්ගේ ප්‍රතිපත්තීන්ද පරස්පර වි ඇති බවද ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය,

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

“නිදහස ලබාගන්න ඩී.එස් සේනානායක මහත්මයා බණ්ඩාරනායක මහත්මයා ඇතුළු සියලු දෙනා එකතු වුණා. මෙවර රටේ ආර්ථික නිදහස ලබාගන්න අපි හැමෝම එක වේදිකාවකට ඇවිත් තිබෙනවා.

රටේ ආර්ථිකය කඩා වැටෙන්න යන බව 2020 දී අපි කිව්වා. අපේ මැතිවරණ ප්‍රකාශයට එය ඇතුළත් කළා. නමුත් එදා කවුරුත් ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා අපිට ගෙදර යන්න වුණා. නමුත් අන්තිමට අපි කියපු දේ හරි ගියා.  නමුත් ඒ වෙද්දි රට කඩා වැටිලා තිබුණේ. ඊට පස්සේ අපි එකතුවෙලා රට ගොඩගන්න ආරම්භකළා.

ශ්‍රි ලංකා ආර්ථිකයට දරාගන්න බැරි ණය බරක් තියෙනවා කියාල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපිට කිව්වා. මේ නිසා මුදල් අච්චු ගහණඑක නැවැත්තුවා, ණය ගැනීම් සීමා කළා. මෙයට විසඳුමක් විදිහට ආණ්ඩුවේ සේවාවල මිල වැඩිකළා, බදු වැඩිකළා. අමාරුවෙන් මේ තීරණ ගත්තේ.කොහොම උනත් අවසානයේදී රැපියල ශක්තිමත් වුණා. අපි ඉදිරියට ගියා. අපි ගත්තු තීරණය අමාරු තීරණයක්. ජීවන බර වැඩි වුණා. අපි ඒ නිසා සමෘද්ධිය වගේම අස්වැසුමත් දෙන්න පටන්ගත්තා. උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබාදුන්නා.  රජයේ සේවකයින්ගේ පඩි වැඩිකළා. දීමනා 10 000 න් වැඩිකළා. විශ්‍රාම වැටුප් , ආදි සියල්ල වැඩිකළා.

දැන් රට ඉදිරියට ගෙනියන්න අපි තිරණයක් ගතයුතුයි. ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරලා අපි ඉදිරියට යනවද නැත්නම් වෙනත් මාර්ගයක ගිහින් කඩා වැටෙනවද කියලා අපි තීරණය කළ යුතුයි. රට ඉදිරියට ගෙනියන මඟ තමයි “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙල හරහා මම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේමාර්ගයේම ගියොත් අපිට සහනයක් ලබාගන්න පුළුවන්. මේක වෙනස් කළොත් අපි කඩා වැටෙනවා.

මේ කාලය තුළදී අපි අලුත් පනත් රාශියක් ගෙනවා . කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කාන්තා සවිබල ගැන්වීමේ පනත සම්මත කර තිබෙනවා. ලබන වසරේ සිය එය ක්‍රියාත්මක වනවා . කාන්තා හා ළමා හිංසනය වළක්වන්න අපි පියවර අරගෙන තිබෙනවා. රත්රන් පොලිය 10% ක සහනයක් ලබාදෙන්න කටයුතු කරනවා.

තරුණයන් වෙනුවෙන් අපි රැකියා ලක්ෂයක් බිහිකරනවා. ඩිජිටල් ආර්ථිකයට එකතුවෙන අයට කෘෂිකර්ම නවීකරණයට එකතුවෙන අයට අපි ආධාර කරනවා. රජයේ ආයතනයක හෝ පුද්ගලික ආයතනයක විදේශ රැකියාවක් සඳහා පුහුණුවෙන්න අපි ආධාර දෙනවා.  රැකියා බිහිකිරීමේ සැලැස්ම අපි ලැස්ති කරලා තියෙනවා. තාක්ෂණය අනුව අලුත් අපනයන භෝග වගාකරන්න සහන ලබාදෙනවා.  ඒවගේම ආයෝජන සඳහා විදේශ ආයෝජන ගේනවා.

අනුරත් දැං අපේ මාර්ගයේ යනවා. අපනයන ආර්ථිකයක් ඇති කරන්න කටයුතු කරනවා .අපිට ඒ ගැන සතුටුයි.  නමුත් ආර්ථිකය ගැන පරස්පර විරෝධි අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අනුර මේ  ගැන පැහැදිලිකරලා දෙනවානම් අපි කැමතියි. ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යනවා. ජාතික ජන බලවේගය  වෙන පැත්තක යනවා.

හැමෝම මේ රටට අනාගතයක් නැහැ කියලා කියපු අවස්ථාවේ අපි අනාගතයක් ඇති කළා. දැන් එය නැතිකරගන්නද යන්නේ කියලා මම අහන්න කැමතියි. රටේ අනාගතය ආරක්ෂාකරගන්නනම් මේ අරගෙන ආපු වැඩපිළිවෙල ඉදිරි වසර පහතුළත් අරගෙන යන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යැයි පැවසීය.

 

 

 

Previous article“රනිල් සමඟ රට දිනවන වසර පහක්” පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය අනුරාධපුර සර්ව ආගමික නායකයින් වෙත පිළිගන්වයි
Next article2024 IMF ආදායම් ඉලක්කය සපුරාලිය හැකි ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ආදායම ශ්‍රී ලංකා රේගුව උපයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here