Home අද  ඊ- රියදුරු බලපත්‍රය 2025 වසරේ පළමු මාස හය තුළ – ප්‍රවාහන හා...

 ඊ- රියදුරු බලපත්‍රය 2025 වසරේ පළමු මාස හය තුළ – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්

759
0

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටියි.

මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙන අතර එම සියලු කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සිදු කිරීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ’ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරට පළමු රියදුරු බලපත්‍රය නිකුත් කළ 1960 දශකයේ සිට මේ දක්වා රියදුරු බලපත්‍ර මිලියන 12.3ක් පමණ නිකුත් කර ඇති බව ද රංජිත් රූබසිංහ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා මෙසේද පැවසීය,

මෙරට පළමු රියදුරු බලපත්‍රය නිකුත් කරනු ලැබුවේ 60 දශකයේදීයි. එතැන් සිට මේ දක්වා රියදුරු බලපත්‍ර මිලියන 12.3ක් පමණ නිකුත් කර තිබෙනවා. මේ අතරින් 60 දශකයේ නිකුත් කළ රියදුරු බලපත්‍ර සඳහා කල් ඉකුත් වන දිනයක් නොමැති බැවින් එම බලපත්‍ර අලුත් කිරීමකින් තොරව භාවිතා කළ හැකිව තිබෙනවා. එබැවින් රියදුරු බලපත්‍රලාභීන් මිලියන 2කගේ පමණ‍ තොරතුරු යාවත්කාලීන වී නැහැ.

ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු සේවාවන් ඩිජිටල්කරණය කිරීම මේ වන සිදු කෙරනවා.එසේම ඉදිරියේදී රියදුරන් සඳහා හඳුන්වා දීමට නියමිත අසාදු ළකුණු හා ස්ථානීය දඩ ගෙවීමට අදාළ කටයුතුද ඩිජිටල්කරණය කිරීමේ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා. 2025 වසරේ ජනවාරි 01 වන දා සිට අසාදු ළකුණු හා ස්ථානීය දඩ ගෙවීම මෙම නව ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා සියලු රියදුරු බලපත්‍රහිමියින්ගේ යාවත්කාලීන තොරතුරු අවශ්‍යයයි.

ඒ අනුව මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් අප නුදුරේදීම හඳුන්වා දෙනවා. ඒ සඳහා නව වෛද්‍ය වාර්තා ලබා ගැනීමට හෝ මෝටර් රථ දෙපාර්තමේන්තුවට පැමිණීම අවශ්‍යය වන්නේ නැහැ. නව ක්‍රමය මඟින් සියලු රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම මේ වසර අවසන් වීමට පෙර සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ හැර නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම හෝ තිබෙන රියදුරු බලපත්‍ර අවලංගු කිරී‍මක් කිසි සේත්ම සිදු වන්නේ නැහැ. ඒ සම්බන්ධව පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බව කිව යුතුයි.

ඒ වගේම මෙම යාවත්කාලීන කිරීම් සිදු කිරීමෙන් පසු 2025 වසරේ මුල් මාස හය තුළ ඊ- රියදුරු බලපත්‍ර ( e-Driving license ) හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ අතර පසුගිය කාලපරිච්ඡේදයේ කාඩ්පත් හිඟය හේතුවෙන් ලක්ෂ 08කට පමණ තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දීමට අපට සිදු වුණා. ඒ අතරින් මේවන විට කාඩ්පත් ලබා දීමට තිබෙන්නේ 91,000කට පමණයි. ඉදිරි මාස දෙක තුළ ඒ සංඛ්‍යාවටද කාඩ්පත් ලබා දීමට හැකියාව තිබෙනවා. ඒ අතර පසුගිය වසරේ සිට මේ වන තෙක් රියදුරු බලපත්‍ර ලක්ෂ 2ක් පමණ නිකුත් කිරීමට තිබෙනවා. ඒ සියලු දෙනා සඳහා කාඩ්පත් නිකුත් කිරීම මේ වසර අවසන් වීමට පෙර සිදු කරනවා. ලබන වසරේ සිට සාමාන්‍ය පරිදි රියදුරු බලපත්‍ර සඳහා කාඩ්පත් නිකුත් කිරීමට හැකියාව තිබෙනවා.

මේ අතර අන්තර් ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම ඊයේ (22) සිට ක්‍රියාත්මක වෙනවා. www.pravesha.lk වෙබ් අඩවිය මගින් අන්තර්ජාලය ඔස්සේ මගී ජනතාවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් පෝලිමේ රැඳී නොසිට මිලදී ගැනීමට අවස්ථාව හිමි වෙනවා. අවශ්‍යය අයකුට පෙර පරිදි කවුන්ටර් හරහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීමටද හැකියාව තිබෙනවා. මේ වසර අවසාන වීමට පෙර වාර ප්‍රවේශ පත්‍ර සඳහාද මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. තවද දුම්රිය ආසන වෙන් කිරීම, භාණ්ඩ ප්‍රවානය ඇතුලු සේවාවන් සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීම ඉදිරි මාස 03 තුළ සිදු වෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

 

Previous articleයළිත් පෝලිම් වල ඉන්න බැහැ – ප්‍රවාහන සංගම් 12 ක් ජනපතිට සහය දෙයි
Next articleරනිල් ජනපති කරන්න එජපය යෝජනා සම්මත කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here