Home අද තරුණ පරපුරේ ප්‍රශ්නවලට ජනපති දුන්න පිළිතුරු

තරුණ පරපුරේ ප්‍රශ්නවලට ජනපති දුන්න පිළිතුරු

753
0

ඉදිරි වසර පහ තුළ සංචාරක කෘෂිකර්ම තාක්ෂණික අංශයන් දියුණු කිරීමෙන් රටතුළ සීඝ්‍ර වර්ධනයක් ඇතිකරගැනීමට හැකියාව තිබෙන බවත් එය ඇතිකරගැනීම වෙනුවෙන් තරුණ තරුණියන් කටයුතු කළ යුතුව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව අද ලබාදී තිබු අතර No Politics, with Ranil Wickremesinghe | Q&A #AskRanil සමාජ මාධ්‍ය ඔස්සේ   සජීවීව පැවති  ප්‍රශ්ණ විමසීමේ වැඩසටහනට යොමු වු ප්‍රශ්න  සඳහා පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේබව පැවසීය. මෙම වැඩසටහනේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය,

ඔබතුමා නිතර චිත්‍රපට බලන කෙනෙක් බවට ප්‍රසිද්ධයි. ඔබතුමාට මතකනම් ආසන්නයේදී බලපු චිත්‍රපටය කුමක්ද?

 

මීට දවස් කිහිපයකට කලින් The Ministry of Ungentlemanly Warfare කියන චිත්‍රපටය නැරඹුවා. එය දෙවන ලෝක යුද්ධ සමය ගැන කියවෙන චිත්‍රපටයක්. මේවනවිට ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වෙලා තියෙන චිත්‍රපටයක්.

 

Starlink ලංකාවට හදුන්වාදීම ගැනත් ඔබ කතාකළා. මෙහි තත්වය කෙබදුද?

 

නූතන තාක්ෂණය අප සතුවිය යුතුයැයි මම විශ්වාසකරනවා. Starlink ලංකාවට ගෙන ඒම සඳහා ඉලෝන් මස්ක් අපිට උදව් කරයි කියලා මම හිතනවා. අපි උත්සහකරලා බලමු. අපි මේගැන කතාකළේ මැයි මාසයේ. දැන් ජුලි වෙද්දි සියල්ල සුදානම්වෙ ලා තිබෙනවා.

 

මුළු රටම කැළඹිලා රටම ගිණිගනිමින් ඉන්න වෙලාවක රට භාරගැනීම පිළිබඳ ඔබතුමාට හැගුණේ කොහොමද? ඔබතුමාට පොඩ්ඩක්වත් බය හිතුනෙ නැද්ද?

 

මීට ඉස්සරලා මේ වැඩ කටයුත්තට මුහුණ දීලා තිබුණා. 2001දී රට කරලා තිබුණා. ඒත් 2020 මැතිවරණයෙදී එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කිව්වා අපි අමාරු තැනක ඉන්නේ කියලා. ජනතාව එක එක්කෙනා දුන්නු පොරොන්දු පිළිගෙන හිටියා මිසක් අපි කියපු දේවල් කවුරුවත් පිළිගත්තේ නැහැ. මේ දේ වෙනවා කියලා අපි දැනගෙන හිටියා. මේ ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා. අවශ්‍යනම් උදව් කරන්න ලැස්තියි කියලත් අපි කිව්වා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමගත් අපි කතාකරලා තිබුණා.

මේ දේ වෙනවා කියලා අපි දැනගෙන හිටියා. ඒ නිසා අපිට තිබුණේ ඊට පස්සේ මේක භාරඅරගෙන රට ගෙනියන්නේ කොහොමද කියලා සැලසුම් කිරීමයි. රටේ ස්ථාවරභාවය ඇති කරන්න නීතිය සාමය ඇති කරන්න ඊට පස්සේ ටිකෙන් ටික මේ වැඩකටයුතු කරගෙන යන්න තමයි අපිට තිබුණේ. ලෝක බැංකුව සමග ඇමරිකාව සමග කතාකරලා පොහොර ටික අරගත්තා . කොහොමහරි 2022-2023 යළ කන්නය බොහොම හොදින් වගාකරගන්න අපිට පුළුවන් උනා. එතැනින් තමයි මේක දියුණුවෙන්න පටන් ගත්තේ.

 

 

ජනාධිපතිතුමනි ඔබ මින් පෙර අවස්ථාවකදී සඳහන් කර තිබෙනවා ත්‍රීකුණාමලය වරාය ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කරනවා කියලා. එය අපේ ස්වෛරීත්වයට හානියක් නෙමෙයිද? ඇයි අපිට බැරි ත්‍රීකුණාමලය වරාය තනිවම සංවර්ධනය කරන්න.? ඔබට ත්‍රීකුණාමලය වරායෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?

 

ඉන්දියාවේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන ආර්ථිකය සහිත ප්‍රාන්තය තමයි තමිල්නාඩුව. ඊළඟට පිළිවෙලින් තෙලඟනා සහ අන්ද්‍රා. ඒ ප්‍රාන්ත තුනම අපිට ආසන්නයි. ඒ ප්‍රාන්තයන්ට ගුජරාටියට සහ මහාරාශ්ට්‍රය වගේ වරායවල් නැහැ.. ඉතින් අපි කොළඹ සහ ත්‍රීකුණාමලය වරායන් ඔවුන්ට විවෘත කලොත් සියලුම බහාලුම් ඒ වරායන්ට එනවා. එතකොට ඔබට බහාලුම් සහිත වරායක් තිබෙනවා. බහාලුම් නැතුව ත්‍රීකුණමලය වගේ වරායක් තිබිලා මොකටද? මම ඉන්දියාව සමඟ මේ යෝජනාව සාකච්ජා කලා. ඔවුන් එකඟ උනා දෙරට යා කරන පාලම ඉදිකිරීම සඳහා ශඛ්‍යතා අධ්‍යයනය කිරීම සඳහා වන වියදම දරන්න. බලන්න ඒ ව්‍යාපෘතිය ආරම්භ උනොත් කොතරම් දැවැන්ත ඉදිකිරීම් සිදුවෙනවද කියලා . ත්‍රීකුණාමලයට සහ කොළඹට නව මහාමාර්ග ඉදිවෙනවා. නව දුම්රිය මාර්ග ඉදිවෙනවා. මහවැලිය වගේ දෙගුණයක් විශාල සංවර්ධනයක්. සම්පූර්ණ ප්‍රදේශයම කාර්මීකරණය වෙනවා. තමිල්නාඩුවට සහ අනෙකුත් ප්‍රාන්ත වලට සිදුවෙනවා අපේ වරාය මත යැපෙන්න.

ඔබ ඒ කියන්නේ මේ හරහා ත්‍රීකුණාමලය වරාය පමණක් නෙමෙයි මුලු ලංකාවෙම යටිතල පහසුකම් සහ ආර්ථිකය දියුණු වෙනවා කියල?

අපේ රට පමණක් නෙමෙයි. දකුණු තමිල්නාඩුවත් දියුණු වෙනවා.

 

විදුලිබල පද්ධතිය ඉන්දියාව සමග සම්බන්ධ කිරීමෙන් අපේ රට පාලනය කිරීම ඉන්දියාව අතට යොමුවෙනවාද?

 

ස්විච් එක ඔෆ් කරන්න පුළුවන් ඉන්දියාවට නෙවෙයි අපිට. අවශ්‍ය තරම් බලශක්ති ලංකාවේ තියෙනවා. නමුත් ඉන්දියාවට ප්‍රශ්නයක් තිබෙනවා. විදුලි සැපයුම සාර්ථකවීමටනම් ඉන්දියාව පිටින් බලශක්තිය ලබාගත යුතු වෙනවා. එහෙම නැතිඋනොත් ඇතැම් රටවල් ඉන්දියාව තීරු බදු පනවන්න ඉඩ තිබෙනවා. ඉතින් ඉන්දියාව සමඟ එකතුවෙලා අපේ විදුලිබලය තව දියුණුකරන්න පුළුවන් කියන මේ කාරණය දන්නේ නැති අය තව මොනවද කතාකරන්නේ. ඉන්දියාව සිංගප්පුරුව සමග ඇති කරගන්නා බලශක්ති සැපයුමට අපිටත් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලයි මම බලන්නේ. අපේ බලශක්තිය අපි විකුණන්න අවශ්‍යයි. මේක තේරෙන්නේ නැති අයට අනාගතයක් තියෙනවද?

 

අධ්‍යාපනය වෙනුවෙන් ධවල පත්‍රිකාවක් ගෙන ආවා ඔබතුමා. එහෙම දෙයක් ගේන්න සිදුවුනේ ඇයි?

 

“1971 අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් පාසල් යන කාලය වසර දෙකකින් අඩු කළා. අධ්‍යාපන ක්‍රමය විභාග ක්‍රමය වෙනස් කළා. අනාගතය දිහා බලලයි ඒ ප්‍රතිසංස්කරණ කළේ. විද්‍යා පීට ජාතික අධ්‍යාපන වගේ දේවල් අදටත් ක්‍රියාත්මක වෙනවා.  ජාතික අධ්‍යාපනය තුළ සියලු දෙනාට ඉංග්‍රිසි උගැන්වීමට යෝජනාවක් තිබුණා. ඒවගේම තවත් මෙවැනි යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කරගන්න බැරිවුණා. ඉංග්‍රිසි උගන්වන්න රෝහණ විජේවීර සහ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. මගේ පඹයෝ පිච්චුවා. එදා හැමෝටම ඉංග්‍රිසි උගැන්නුවානම් අද මොනවගේ තත්වයක් තියෙවිද? ..

මේ රටේ අධ්‍යාපන අවස්ථා තවදුරටත් වැඩි කළ යුතුයි. වැඩි වැඩියෙන් පුහුණු කළ යුතු වෙනවා. ඒවගේම අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු තැන් තවත් තිබෙනවා.

 

බුද්ධිගලන විසඳන්න පියවරක් තිබෙනවාද ඔබතුමාට?

 

පළමුවෙන්ම රටේ අධ්‍යාපන අවස්ථා වැඩිකළ යුතු වෙනවා. කවුරුන් හෝ වෛද්‍යවරයෙක් විද්‍යාඥයෙක් ගියා කියලා අපිට ආපහු ඇදගෙන එන්න බැහැනේ. අපිට තිබෙන්නේ අවස්ථා වැඩිකරන එකයි. කාලයක් යන තුරු අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා පුහුණු කරන්න වෙයි. කාලයක් යද්දි රට දියුණුවෙද්දි ඒ යන අය ආපහු රටට ඒවේ. පුහුණුකිරීමේ ක්‍රම වෙනස් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

 

 ඔබතුමා මේ දිනවල අපි දකිනවා උරුමය සින්නක්කර ඔප්පු බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් යනවා. ඇත්තටම මේක මේ දේශපාලන ගේම් එකක්ද? නැත්නම් මේකේ ඇත්තම අරමුණ මොකක්ද? මේ සින්නක්කර ඔප්පු ලබාදීමෙන් ඔබතුමා අදහස් කරන්නේ

 

මම අවුරුදු 20 ක් බැලුවා මේ රටේ ජනතාවට සින්නක්කර අයිතිය දෙන්න . ඉඩමක් අරගෙන ආණ්ඩුවේ නමින් තියාගෙන කොළ කෑල්ලක් දීලා වැඩක් නැහැනෙ. අපිට ඉඩමත් ආපහු ගන්න බැහැ  . ඒ පුද්ගලයාට භුක්තිය අයිති විදින්නත් බැහැ. ඒ නිසා එයාට අයිතිය දිලා දියුණුකරන්න දෙන්න.  මොකක්ද අපේ ප්‍රශ්නේ මිනිස්සුන්ට අයිතිය නොදී ඉන්න. ඇමරිකාව වගේ රටවල් වල පිටරටින් මිනිස්සු ගේන්න ඉඩම් අයිතිය එවෙලෙ දුන්නා. ඔස්ට්‍රේලියාවේ දුන්නා . අපි භාගයක් ගිහින් මොකක්ද කරන්නේ. එතකොට ඒ අය ඉන්නේ එක එක නිලධාරීන්ට යටවෙලා ඒ අය එක්ක ජීවත් වෙන්න. අද ලක්ෂ 20  ට ඒ අයිතිය දෙනවා කියන එක බලන්න වෙනස. තමන්ට පොඩි ඉඩම් කෑල්ලක අයිතිය කියන එක. අවුරුදු 20 ක් මම මේක සටන් කළා . දැන් පුළුවන් නිසා මම කරනවා

විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයෝ කියනවා ඔවුන් බලයට පැමිණීමෙන් පසුව බදු අඩුකරනවා කියලා. එසේනම්  ඇයි ඔබට බැරි ඒ දේ කරන්න?

 

ඒ දෙවල් කරන්න පුළුවන්නම් 2022 රට භාරඅරගෙන කරන්න තිබුණනෙ. දැන් මොනවද මේ කියන්නේ. මම ගිහින් ඉල්ලුවේ නැහැ. මට කතාකරලයි අගමැතිකම දුන්නේ.

 

ඉදිරි වසර 05 තුළ අපිට දියුණුකළ හැකි ප්‍රධාන ක්ෂේත්‍ර තුන මොනවාද?

 

සංචාරක කර්මාන්තය , කෘෂිකර්මය. මේවෙද්දි අපි කෘෂිකර්මය අමතක කරලා තියෙන්නේ. ස්මාර්ට් කෘෂිකර්මය ගම්වලට ගෙනියන එක වැවිලි කර්මාන්තය වගේම අපි කළ යුත්තක්. ලෝක ජනගහනය වැඩිවෙනවානේ. කවුද මිනිස්සුන්ට කෑම දෙන්නේ. හරියට ආර්ථිකය හැසිරුවොත් අපිට හොද අනාගතයක් තිබෙනවා.

 

  ජනාධිපතිතුමනි ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයෙන් යළිත් ජනාධිපති බවට පත්උවහොත් ඔබ කරන්නේ කුමක්ද?

 

කාරණා දෙකක් සිදුකරන්න තිබෙනවා. පළමුවෙන්ම මේ සිදුකරණ වැඩ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙනයමින් ආර්ථික ස්ථාවරබවක් ඇතිකර ජනතාවගේ ආර්ථික බර අඩුකර ජනතාවට සහන දෙන්න කටයුතු කරනවා.

ඒ වගේම ආර්ථිකය පහසුකරලා තරුණතරුණියන්ට  අනාගතයක් නිර්මාණය කර දෙන්න කටයුතු කරනවා. ඒ අතර Netflix බලන්නත් කැමතියි”

 

 

 

 

 

Previous articleයළිත් ජනපති උනොත් කරන්න යන දේ ජනපති හෙළිකරයි
Next articleශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවත් දියුණු කරන ජනපතිගේ සැලැස්ම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here