Home අද ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නැහැ – මැතිවරණ කොමසාරිස් ජනරාල්

ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නැහැ – මැතිවරණ කොමසාරිස් ජනරාල්

1117
0

 

ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. එමෙන්ම ජනමත විචාරයක් පැවැත්වීමට අවශ්‍ය උවහොත් ඒ සඳහා ද කොමිෂන් සභාව සුදානමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරණය සහ ජනමත විචාරණය යන මැතිවරණ දෙකම එකම දිනයකදී පැවැත්වීමට නොහැකි බවත් ඒවා දින දෙකකදී පැවැත්විය යුතු බවත් සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වා දෙයි.

 

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබීමත් සමඟම මේවනවිට  ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවති උනන්දුව වැඩිවී තිබේ. ජනාධිපතිවරණය පවත්වන දිනය මෙම සතියේදී ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති රත්නායක මහතා පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රකාශ කළේය. මේතත්වය හමුවේ මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සුදානම පිළිබඳව  මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සමඟ සාකච්ඡා කළ අතර ඔහු මේ සම්බන්ධයෙන් පැවසු අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ

 

මැතිවරණය වෙනුවෙන් කොමිසම සුදානමින්

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව  ජනාධිපතිවරණය පැවැත්විමට අදාළ බලය පසුගිය 17 දා සිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණා. ජනාධිපතිවරණය නිශ්චිත කාලයට අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. ඒ අනුව සැප්තැම්බර් 17 ත් ඔක්තෝම්බර් 17 ත් අතර දිනයක  ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා.  ඒ අනුව ඡන්දය පැවැත්වීමට නිශ්චිත දිනයක් තීරණය වෙනවා.  සාමාන්‍යයෙන් ඉරිදා දිනයේදී සහ පොදු නිවාඩු දිනවලදී  ඡන්දය පවත්වන්නේ නැහැ. එය නීතියෙන්ම සඳහන් වී තිබෙනවා. ඒ අනුව මෙම කාලසීමාව තුළ මැතිවරණය පැවැත්විය හැකි දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනවා. ඒ වගේම නාම යෝජනා භාරගත් දිනයේ සිට අපේක්ෂකයින් ප්‍රවර්ධනය වෙනුවෙන් දින 28 ත් දින 42 ත් අතර කාලයක් ලැබෙනවා  .  මෙම කාලසීමාවෙ දී ජනාධිපතිවරණය පැවැත්වීමට ඇති  නිසා කොමිෂන් සභාව විදිහට අපි ඒ සඳහා සුදානම් වුනා. මැතිවරණයේදී අපිත් සමග කටයුතු කරන පොලිස් දෙපාර්තමේන්තුව , රජයේ මුද්‍රණාලය , තැපල් දෙපාර්තමේන්තුව , භාණ්ඩාගාරය මුදල් අමාත්‍යාංශය සමඟ  මේ සම්බන්ධයෙන් මුලික වශයෙන් සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඒවගේම කොමිෂන් සභාව විදිහට අපි සිදුකළ යුතු කාර්යයන් අපි කරගෙන යනවා. ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂාකිරීම ඡන්ද පෙට්ටි සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිළිබඳ මුලික කටයුතු අපි අවසාන කරගෙන යනවා. මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කළ සැනින් අපිට පුළුවන් අපේ ඉතිරි කටයුතු කරගෙන යාමට . ඒ වෙනුවෙන් අපි සුදානමින් සිටිනවා

ජුලි 30 ට පෙර ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන්න් පුළුවන් බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමත්  ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා. අපි ජුලි මාසය අවසන් වීමට ප්‍රථම මැතිවරණය පැවැත්වීමේ දිනය නිවේදනය කරනවා. ඒක ගැටලුවක් නැහැ එය කරන්න පුළුවන්.

 

 

මැතිවරණය සඳහා මුදල් ප්‍රමාණවත්

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් මුදල් ප්‍රමාණවත් නොවු නිසා එය පවත්වන්න නොහැකි වුනා. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ලැබී තිබෙනවාද කියා ඔබ විමසුවා.

සෑම මැතිවරණයක් සඳහාම මුදල් වෙන්කිරීම කරන්නේ ඊට පෙර අයවැය මගින්. ඒ අනුව මෙවර මැතිවරණය සඳහා අවශ්‍ය කරන මුදල් 2023 වසරේ නොවැම්බර් ඉදිරිපත් කළ අයවැය සඳහා වියදම් ඇස්සමේන්තු ලබාදී තිබෙනවා.  එම අයවැය සම්මත කරන තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන් එක් එක් මාසයට අදාළ වන ආකාරයට මුදල් වෙන්කිරීමට සහයෝගය ලබාදීමට එකඟ වුණා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වුයේ මුදල් අමාත්‍යාංශය මුදල් ලබානොදීම කියන එකම කාරණය නිසා නොවෙයි. මුදල් ලබාදීමට නොහැකිවන ආකාරයේ චක්‍රලේඛ නිකුත් වු නිසා තමයි එය සිදුවුනේ. නැතිනම් මුදල් අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදී තිබෙනවා.

 

 

අලුත් ඡන්ද දායකයින් ලක්ෂ 10 ක්

 

අලුත් ඡන්දදායකයෝ ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයක් තමයි එකතුවෙලා තිබෙන්නේ. සාමානයෙන් වර්ෂයකට අලුත් ඡන්දදායකයෝ ලක්ෂයක් ලක්ෂ දෙකත් අතර ප්‍රමාණයක් එකතුවෙනවා. මෙවර ඡන්ද සඳහා සුදුසුකම්ලබා ඇති සමස්ත ප්‍රමාණය එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් පමණ වෙනවා.

 

මැතිවරණ නීති සම්බන්ධයෙන් කොමිසම අවධානයෙන්

 

මැතිවරණය සම්බන්ධයෙන් නිල නිවේදන නිකුත් කළ පසුව උවත් රටේ සිදුවන සංවර්ධන කටයුතු අඩාල කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ නැහැ.  නමුත් එවැනි අවස්ථාවල නිසි ක්‍රමවේදයෙන් බැහැරව දේශපාල මැදිහත්වීම් සිදුවෙනවානම් එය තමන්ගේ පෞද්ගලික දේශපාලනය වෙනුවෙන් යොදාගන්නා බව හැගී ගියොත් මැතිවරණ කොමිෂන් සභාව එ් පිළිබඳ පියවර ගන්නවා. එවැනි අවස්ථාවල අදාළ රාජ්‍ය දේපල සම්බන්ධයෙන් වගකීම්භාර රාජ්‍ය නිලධාරින්ට තමයි මේ පිළිබඳ වගකීම තිබෙන්නේ.

 

මෙවර මැතිවරණ වියදම් නියාමන නීතියක් ක්‍රියාත්මකයි

 

පසුගිය පළාත් පාලන මැතිවරණයේ  අවසාන නාමයෝජනා භාරගන්නා මොහොතේදී තමයි 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත හදුන්වා දුන්නේ. මෙය දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේ සඳහා 2017 සහ 2021 කැබිනට් අනුමැතිය හිමි උනා. මැතිවරණ නියාමනය අවශ්‍ය බවට දිගුකාලයක් පුරාවට විවිධ පාර්ශවයන් හඩනැගුවා. මොකද මැතිවරණ ප්‍රචාරණ වලදී ඡන්දදායකයා මිලදී ගන්න බවක් පෙනෙන්නට  තිබෙනවා. එය හරියට මුදලාලි කෙනෙක් සහ පාරිභෝගිකයෙක් අතර සිදුවන ගණුදෙනුවක් වගේ තත්වයක් ඇතිවෙලා තිබෙනවා.  කේවල ආසන ක්‍රමයෙන් සමානුපාතික නියෝජන ක්‍රමයට පැමිණීමත් සමඟම බොහෝවෙලාවට තරඟය තිබෙන්නේ පක්ෂ පක්ෂ අතර නෙවෙයි පුද්ගලයින් අතර . මේ මනාප පොරය දැන් සෑම දෙයකම පුරුද්දක් වෙලා තිබෙනවා. මේ නිසාම තමන්ගේ මනාපය දෙන්න පාරිභෝගිකයෙක් වගේ දෙයක් ලැබෙනකම් බලාගෙන ඉන්න පුරුදුවෙලා. මේ රටේ ව්‍යවස්ථාදායකට විධායකය අධිකරණය පත්කරගැනීම සඳහා පුරවැසියෙක් ලෙස ලැබෙන තමන්ගේ පරමාධිපත්‍ය බලය කිසිවෙකුට පැවරිය නොහැකි ඡන්ද බලය මුදල මත තීරණය වන තත්වයකට පැමිණ තිබෙනවා. මෙයට හේතු ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් මුදල කියන කාරණය මෙතැනිදී විශාල බලපෑමක් කරනවා. මුදල් තියෙන කෙනාට අනිත් අයව එකතුකරගන්න පුළුවන්කම තිබෙනවා. මුදල් නැතිව මැතිවරණ කරන්න බැහැ. නමුත් අනව්‍යශ විදිහට මුදල් යොදවලා මනාපය මිලදී ගන්න තත්වයක් ඇති කරන්න බැහැ. මේ නිසා වියදම් පාලනය කිරීමක් නොකලොත් මුදල් තිබෙන අය රිසිසේ කටයුතු කරයි.  පහුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේදී මොණරාගල දිස්ත්‍රික්කයේ මදුරකැටිය බලප්‍රදේශය තුළ කෝටි හතරක් වියදම් කරනවා. මේ පනත අනුව බැලුවොත් එම කොට්ඨාශය තුළ වියදම් කරන්න පුළුවන් රුපියල් 34 000 ක් පමණයි. එතැන සමාන තත්වයක් ඇතිවෙලා නැහැ කියලා පැහැදිලි ඇති. එවිට සමබිමක් හදන්න අමාරුයි. මේ පනත මගින් පැහැදිලිවම වියදම් කළ හැකි ප්‍රමාණය සඳහන් කරලා තිබෙනවා. මැතිවරණ දෙපාර්තමේන්තුව පැවති කාලයේ පටන් මේ පිළිබඳව කතාබහ කරලා තිබෙනවා. මේරටේ දෙශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ආරම්භයක් බවට මේ පනත පත්කරගන්න පුළුවන් වේවි කියලා මැතිවරණ කොමිෂන් සභාව විශ්වාස කරනවා.

යම් මැතිවරණයක් සඳහා අපේක්ෂකයෙකු වියදම් කළ යුතු මුදල තීරණය කරන්නේ එම පක්ෂවල නායකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව ඒපිළිබඳ සාකච්ඡාකර අවසන් තිරණයක් ගැනීමෙන් පසුවයි.  අදාළ මුදල කොපමණද කියන කාරණය තීරණය කරන්නේ කොමිෂන් සභාව විසින්. පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණයේදී අදාළ මුදල රුපියල් 15 ක් ලෙස නම්කරන්න ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයෝ සඳහන් කළා එවිට කොමිෂන් සභාව එම මුදල් රුපියල් 20 ලෙස යෝජනා කළා. ඒ ආකාරයට මුදල තිරණය කිරීමේ බලය තිබෙන්නේ කොමිෂන් සභාව සතුවයි.

 

සමාජ මාධ්‍ය සහ තාක්ෂණික අභියෝග ජයගැනීමට සුදානම්

 

ලංකාවේ නිරීක්ෂණ සංවිධාන සහා අදාළ ආයතන සහ පර්ශවයන් සමග එකතුවෙලා මෙම නියාමයන් සිදුකරන ආකාරය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. අද වනවිට සමාජ මාධ්‍ය සහ AI තාක්ෂණය හේතුවෙන් වැරදි තොරතුරු සමාජගත කිරීමට ලෝකයේ දරුණු තර්ජනයක් තිබෙනවා.  වැරදි තොරතුරු සහ වෛරී ප්‍රකාශ කියන මෙම කාරාණා දෙක පිළිබඳවම අපිට සැලකිලිමත්වෙන්න සිදුවෙලා තියෙනවා. මෙය පාලනය කරගැනීම සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යනවා. සමාජ මාධ්‍ය ආයතන සමගත් අපි සාකච්ඡා කර තිබෙනවා. මැතිවරණයට අදාළව වැරදි තොරතුරු සහ වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍යයෙන් ඉවත්කරගැනීමට පිළිබඳ එකඟතාවයකට පැමිණීමට හැකිවේවි කියා අපි විශ්වාස කරනවා.

 

ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නැහැ

 

මේවනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් කතාබහත් තිබෙන නිසා ජනමත විචාරණයක් සහ ජනාධිපතිවරණයන් යන දෙකම එකම දිනයක පැවැත්වීමට සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් හැකියාවක් තිබෙනවාද කියා ඔබ විමසනවා.

ජනමත විචාරණය සහ ජනාධිපතිවරණය කියන මැතිවරණ දෙකම එකම දවසේ පවත්වන්න හැකියාවක් නැහැ. මොකද ජනමත විචාරණ පනතට අදාළ දිනවකවානු සහ විධිවිධාන ජනාධිපතිවරණ පනතේ දින සහ විධිවිධාන ආකාර දෙකක් ලෙස තිබෙන්නේ. එය නීති දෙකක්. ඡන්ද දාකයෙක් විදිහට බොහොම සරලව දකින්න පුළුවන්. ඡන්ද පත්‍රිකා දෙකකට කතිරය යෙදීම පමණයි ඡන්ද දායකයින් කළ යුතුව තිබෙන්නේ. නමුත් මෙය අරමුණු දෙකක් වෙනුවෙන් තිබෙන කාරණා දෙකක්. ඒ අනුව මෙම දෙකම එකම දිනයේ එකට තබන්න පුළුවන්කමක් නැහැ. නමුත් ජනාධිපතිවරණය පැවැත්වීමට මේ කිසිවක් අපිට බාධාවක් නෙවෙයි.

 

 

 

 

Previous articleරජය රුපියල් මිලියන 29,000ක ණය ගෙවා දමයි
Next articleඉන්දියාව සමඟ තරඟ බිමට පිවිසෙන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here