Home අද යළිත් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකියි – වජිර

යළිත් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකියි – වජිර

907
0

මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

බොරු පොරොන්දු ලබාදෙන කණ්ඩායම් කව්රුන් ද යන්න ජනතාව හඳුනාගත යුතු බවත් යළිත් වරක් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය,

නිදහසින් පසුව බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම රට වෙනුවෙන් උපරිම වැඩ කොටසක් සිදු කළ බව අප කවුරුත් සිහි තබා ගත යුතුයි. නමුත් දුර්වලතා ද පැවැතියා. කෙසේ හෝ මේ වන විට නිදහසින් පසුව එක දිගට තිබුණු පාලන තන්ත්‍රයේ දුර්වලතා විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා. ඊට එක් උදාහරණයක් මෙසේ පෙන්වා දිය හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28 වගන්ති දෙකෙහි සඳහන් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් පිළිබඳවයි. එනම් මහජනතාවට අයිතිවාසිකම් ලබා දිය හැකි ආකාරය ගැනයි. කෙසේ හෝ 27, 28 කුමක් සඳහන් වුවද 29 වගන්තියේ කිසිම වගවීමක් ඇති නොවීමටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරක්ෂාවීම සඳහා නීතියෙන් කිසිම අයිතිවාසිකම් නොපැවරේය යන්න සටහන් වී තිබෙනවා. එපමණක් නොවෙයි, කිසිම අධිකරණයක් හෝ විනිශ්චයාධිකාරයක් මඟින් දේශපාලනඥයන් විසින් කරන ප්‍රකාශ ඉටුකරවා ගැනීමට අවස්ථාව නොමැති බව ද සඳහන් වී තිබෙනවා.

දැන් මේ තත්ත්වය තුළ තමයි රටේ දේශපාලන පක්ෂ එක දිගට මහජනතාවට බොරු පොරොන්දු දෙමින් රට විටින් විට කඩාගෙන වැටීමට ඇද දමා තිබෙන්නෙ.

මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය නිසා වර්තමාන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28 සහ 29 වැනි වගන්ති වගවීමක් ඇති කිරීමට හැකිවන පරිදි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පිටු 165 කින් සමන්විත මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150, 151, 152 කියන වගන්තිවල සඳහන් වන මහජනතාව විසින් තෝරාපත් කර එවන මන්ත්‍රීවරයාගේ ප්‍රධාන වගකීම වන්නේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වගකීමයි. ඒ මූල්‍ය වගකීම දුර්වල වන්නේ දේශපාලන පක්ෂ විටින් විට සිදු කරන අසත්‍ය ප්‍රකාශ නිසයි. එම තත්ත්වය වළක්වමින් දේශපාලන පක්ෂ පවසන කාරණාවල සත්‍ය අසත්‍යතාවය සොයා බලා වාර්තා කිරීමට අයවැය කාර්යාලය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එතැනින් නොනැවතුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම වගන්තිය ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවට ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කළා. ඒ අනුව දැන් දේශපාලන පක්ෂ විසින් බොරු කියන යුගය අවසන් කළ යුතුව තිබෙනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජුනි 23 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු හැටියට දිවුරුම් දී රට වැටෙනවා පරිස්සමින් ක්‍රියා කළ යුතු බව පැවසුවා. ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතු බව මෙන්ම, රට යන ගමන් මඟ වෙනස් කළ යුතු බව ද සඳහන් කළා. නමුත් එය එවකට පාලකයන් විසින් ඉටුනොකළ බැවින් අවසානයේ එම පාලනය අකර්මණ්‍ය වුණා.

අනතුරුව 2022 මැයි 12 වෙනිදා පාර්ලිමේන්තුවේ තනි අසුනක් පමණක් හිමිව සිටි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබුවා. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජූලි මාසයේ 20 වෙනිදා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව ඡන්ද 134 ක් ලබාගෙන අට වැනි විධායක ජනාධිපති හැටියට රටේ වගකීම බාරගත්තා.

එමෙන්ම දැනට අවුරුදු දෙකකට කලින් ජනාධිපතිතුමා භාරගත්තේ බංකොලොත් වූ රට ජාත්‍යන්තරයේ සහය ලබාගෙන ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත් කිරීමට සමත් වුණා.

නමුත් මේ ප්‍රශ්නය ඉවර නැහැ. මේ වන විටත් විදෙස් ණය ගෙවීම සඳහා 2027 වන තුරු කාලය ගෙන තිබෙනවා. ඒ වගේම විදෙස් සංචිතයේ ඩොලර් කෝටි 500 ක පමණ මුදලක් තිබෙනවා. ශ්‍රී ලාංකික මහජනතාව ජීවත් කරමින්, ආදායම වැඩිවෙන ව්‍යාපෘති ආරම්භ කරමින් ආර්ථික පරිවර්තන පනත මඟින් රට ගොඩනැඟීමේ ඉලක්ක ලබා දී තිබෙනවා. ඊට අනුව 2027 වන විට ආර්ථික සංවර්ධන වේගය 5% ක ඉලක්කයක තබාගත යුතු බව නීතියෙන් නියම කර තිබෙනවා. එතැනින් නොනැවුතුණු ජනාධිපතිතුමා 2030, මෙන්ම 2042 දී ද කවුරු රට පාලනය කළත් එම දේශපාලන පක්ෂවල වගකීම නීතිගත කර තිබෙනවා.

ඒ වගේම අප කල්පනාවෙන් වැඩකළ යුතුව තිබෙනවා. යම් අයෙක් මෙවර රට වරදක් සඳහා තල්ලු කළහොත් අප ඒ අය කවුද කියා හඳුනාගත යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස බොරු කියන අයගේ ලේඛනයක් ගමේ ප්‍රදර්ශනය කළ යුතුව තිබෙනවා. මහජනතාවට රවටන කණ්ඩායම්, බොරු පොරොන්දු දෙන කණ්ඩායම් මහජනතාව හඳුනාගත යුතුව තිබෙනවා.

මෙවර අප අතින් යළි වරදක් වුවහොත් ඒ වරද ආපසු හැරවිය නොහැකි බරපතල වරදක් බවට පත්වෙනවා. ඒ නිසා අප දැන් බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා.

එසේ නම් රටට පාලකයන් පත්කරගන්නා විට ශ්‍රී ලාංකික මහජනතාව සිතිය යුතු එක් කරුණක් තිබෙනවා. ඊළග ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙන කවුරුහරි සුදුස්සෙක් සිටිනවා නම් ඔහු සුදුසු වන්නේ කෙසේ ද යන බව ඔබ විසින් තීරණය කළ යුතුයි. ඒ නිසා මේ මෙහොතේ මහජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.

මේ වන විට ඇතැම් පාර්ශ්ව වැඩවර්ජනය කරනවා. මැතිවරණ ජයග්‍රහණය කිරීමට ඔවුන් අපොහොසත් නිසා ඒ අය ජයග්‍රහණය සඳහා රට අස්ථාවර කිරීමට සූදානම් වනවා.

වර්ජකයන් ඉල්ලා සිටින විදිහට වැටුප් වැඩි කිරීමට නම් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසූ ආකාරයට 18% වැට් බද්ද 21% ට වැඩි කළ යුතුයි. ඉන් සිදු වන්නේ වැඩ කරන ජනතාවගේ තේ කෝප්පය, බත් පැකට් එකට තව මුදලක් වැඩි වීමයි. එසේ වුවහොත් බංකොලොත්වුණු රට යළි භයානක තත්ත්වයකට ගමන් කිරීම වැළැක්විය නොහැකියි. ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකික මහජනතාව සහාය ලබා නොදෙනු ඇතැයි ද අප විශ්වාස කරනවා.

Previous articleONMAX අධ්‍යක්ෂවරුන්ගේ සියලු දේපල අත්කර ගන්න නියෝග
Next articleජූලි 15 සිට ත්‍රිරෝද රථ ගාස්තු වෙනස් වෙන හැටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here