Home අද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට  මුදා හරිනවා – ග්‍රාමීය...

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට  මුදා හරිනවා – ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්

2133
0

වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීම සදහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පැවසීය.

මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික අංශය දියුණු කිරීම සඳහා මේ වන විටත් වැව් 61ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ග්‍රාමීය ආර්ථිකරාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්   ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා මෙසේ ද පැවසීය,

සැබවින්ම අප හිතුවේ මේ රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටී තිබූ ආර්ථිකය ඉතා ඉක්මනින් යළි ස්ථාවර මට්ටමකට ගෙන ආවා. ඒ පිළිබදව ජනාධිපතිවරයාට ස්තුතිවන්ත විය යුතුයි.

ඒ වගේම උතුරු, නැඟෙනහිර සහ මධ්‍යම යන පළාත් ආශ්‍රිතව ග්‍රාමීය ආර්ථිකය නැංවීම වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. පසුගිය වසරේ ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය හරහා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ද රාශියක් දියත් කළා. එළුවන් ලබාදීම, මුං වගාව සඳහා අත්‍යවශ්‍ය බීජ ලබාදීම වැනි වැඩසටහන් ඒ අතර විශේෂයි.

මේ අනුව අප අමාත්‍යාංශයට ලබාදුන් මුල්‍ය ප්‍රතිපාදනවලින් 98%ක් පමණ මෙම වැඩසටහන් සදහා යෙදවීමට කටයුතු කර තිබෙනවා. එහි ප්‍රතිලාභ මේ වන විට ජනතාව භුක්ති විදිමින් සිටිනවා.

විශේෂයෙන්ම මන්නාරම දිස්ත්‍රික්කය සැලකුවහොත් එය මේ වසරේ මෙට්‍රික් ටොන් 1050ක් පමණ මුං අස්වැන්නක් ලබාගනිමින් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. එළු පාලනය ආශ්‍රිතව ද විශාල දියුණුවක් ඇති වෙලා තිබෙනවා.

ඒ වගේම විදේශ ආධාර මත විවිධ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම දියත් කර තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ දියුණුව සඳහා අත්‍යාවශ්‍ය වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඒ අතර විශේෂයි. මේ යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් 30ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 31ක් ද ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතිනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා විවිධ වැඩසටහන් ඉදිරියට ගෙන යමින් ආහාර හිඟය, මන්දපෝෂණය වැනි ඌනතා මඟහරවා ගැනීම ද රජයේ ප්‍රමුඛ ඉලක්කය වි තිබෙනවා.

ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා.

 

 

Previous articleබැංකු අය කරන ණය පොලිය වහාම අඩු කළ යුතුයි – මහ බැංකු අධිපති
Next articleඅවලෝකිතේශ්වර මහින්දට මානසික වෛද්‍ය ප්‍රතිකාර නියම කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here