2025 පෙබරවාරි 27 දින වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ Out of stock Medicines at MSD – 333 වාර්තාවට අනුව වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ බෙහෙත් වර්ග 333 ක හිඟයක් , තිබියදී ආණ්ඩු පාර්ශ්වය කටක් ඇර මෙය ‘ජනතාවාදී ආණ්ඩුවක් ’ කියන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න ප්‍රශ්න කරයි.
2026 ස්ථාන මාරුවීම් ලැයිස්තුවට අනුව මෙරට තුළ විශේෂඥ වෛද්‍යරුන් 780 ක හිඟයක් ඇති බවද ඇය පැවසුවාය.
රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර සිටියේ අද (06) පාර්ලිමේන්තුවේ පැවති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.
සාමාන්‍යයෙන් වාර්ෂික ප්‍රධාන ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර 325 ක් පමණ ප්‍රධානය කළ යුතු වුවත් තවමත් ආණ්ඩුවට ඖෂධ මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ගන්නට නොහැකිව සිටින බවද මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.
එහිදී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.
“අය වැය පුරාම මේක ‘ජනතාවාදී ආණ්ඩුවක්’ කියලා කියනවා මම අහගෙන හිටියා. මේ ආණ්ඩුව රු. බිලියන 20 ක් ශ්‍රී ලංකන් එකේ ණය ගෙවන්න වෙන් කරනවා. තනිකරම ධනපති වැඩක්. ඇත්ත ජනතාවාදී ආණ්ඩුවක් නම්, මේ ශ්‍රී ලංකන් එකට වැය කරන මුදල සෞඛ්‍යට වෙන් කරලා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්නට ඕනි.
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිතුමා කියනවා ඖෂධ වර්ග 56 ක් විතරයි අඩු ඒවා ගේන්න මාස 9 ක් යනවා කියලා. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් මාස 9 ක් යනකල් බඩු නෑ කියන එක. ඇත්ත කතාව තමයි, මේ යන විදිහට අද වන කොට වෛද්‍ය සැපයුම් අංශයේ නැති ඖෂධ වර්ග 333 ගේන්න මාස 9 ක් යනවා. මෙන්න මේක තමයි ඇත්ත ප්‍රශ්නය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇත්ත ප්‍රශ්නය.
මේ ආණ්ඩුවට ඖෂධ මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ගන්නට බැරිවෙලා තියෙනවා.
සාමාන්‍යයෙන් වාර්ෂික ප්‍රධාන ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර 325 ක් පමණ ප්‍රධානය කළ යුතු වෙනවා. නමුත්, මේ දක්වා තිබුණ ක්‍රමවේදය අද සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තියෙනවා. මොකද, ආන්ඩුව හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න ඔක්කොටම හොරු කියලා. කිසිම වැඩක් කරන්න දෙන්නේ නෑ. වෙනදා අලුත් අවුරුද්දකට ඕනි ඖෂධ සියල්ල පෙර අවුරුද්දේ නොවැම්බර් වෙනකොට ටෙන්ඩර් කරලා සැපයුම්කරුවන් තෝරාගෙන ඉවරයි. මිලදී ගැනීම විතරයි ඉතුරු වෙන්නේ. නමුත් මේ සැරේ ඖෂධ මිලදී ගැනීමේ මුලික කටයුතුවත් තවම ආරම්භ කරලා නෑ.
ඒ නිසා මේ ඖෂධ හිඟය 2025 සැප්තෑම්බර් දක්වා අවසන් වෙන්නේ නෑ. කරුණාකරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් උඩ ඉදන් පහලට හොරු විදහට දකින්න එපා. ඔවුන් එක්ක වෛරයෙක්, උද්දච්ච විදිහට වැඩ කරන්න එපා. වෛද්‍ය සැපයීම් ප්‍රශ්නය මේ ආන්ඩුව හදාගත්ත එකක්. මේ තරම් ලොකු වෛද්‍ය සැපයීම් ප්‍රශ්නයක් රට බංකොලොත් වෙච්ච 2022 දී වත් තිබුනේ නෑ. මම රාජ්‍ය නිලධාරීන්ට දොස් කියන්නේ නෑ. ඔවුන් සියළු දෙනා හොරු ගොඩට දාලා වැඩ කිරීම නිසයි මේ වෛද්‍ය සැපයුම් අර්බුදය ඇතිවුණේ.
2016 දී ඖෂධ හිඟය පාලනය වුනේ ඇප් එකක් හදලා ලංකාවේ ම තියෙන ඖෂධ සියල්ල තියෙන තැන් ඒ ඇප් එකෙන් බලාගන්න පහසුකම් සපයා දුන්න නිසයි. ගෝඨාභය ගේ ආණ්ඩුව ඇවිල්ලා කරපු මුල්ම වැඩක් තමයි ඒ ඇප් එක වහලා දාන එක. ඒ ඇප් එකට වෙච්ච දේ හොයලා බලන්න.
අද තියෙන ඖෂධ හිඟයේ ලොකුම ප්‍රශ්ණය බෙහෙත් නැති එක නෙවෙයි, බෙහෙත් ඉතුරුවෙලා තියෙන තැන, ඉස්පිරිතාලේ, ගබඩාව හොයා ගන්න බැරි එක. නැවත 2019 දක්වා පාවිච්චි කරපු ඇප් එක අවශ්‍ය වෙනස්කම් කරලා ගේන්න. එක හදලා තිබුණේ රාජ්‍ය ආයතනයක මැදිහත්වීමෙන්.
ප්‍රශ්නය තියෙන්නේ ඖෂධ නැති එක නොවෙයි, තියෙන ඖෂධ වලට සමීපවීමට සෞඛ්‍ය බලධාරීන්ට තොරුතුරු නැති එක. ඖෂධවලට මිල නියාමක් අවශ්‍යයි. යහපාලන රජය සමයේ ඖෂධ 48 ක මිල අඩු කලා. ඒක කළේ නියාමනය ඇති කිරීම තුලින්. ඒකේ ප්‍රතිඑලය තමයි 2019 වසරටක ඖෂධ සඳහා අවශ්‍ය වු රු. බිලියන 14 ක මුදල රු. බිලියන 4 දක්වා පහත වැටීම. රු. බිලියන 10 ක් බෙහෙත්වලින් ඉතුරු වුණා. රු. 30,000 ට තිබුණු අක්ෂි කාචය රු. 8,000 දක්වා අඩු වුණා.
ගෝඨාභය ගේ ආණ්ඩුව මේ ඖෂධ මිල නියාමනය සම්පූර්ණයෙන්ම නැති කළා. එකේ ප්‍රතිඑලය නැවත වරක් අද ඖෂධ මිල අහස උසට ගිහින් තියෙනවා. ගරු මන්ත්‍රී අබේසිංහ මැතිතුමාත් ටික වෙළාවකට පෙර ලොකු කතාවක් කිව්වා පවුලේ වෛද්‍යවරු , සංකල්පය ගැන.. ‘හෙල්ත් චෙක්අප් එකක්’ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නවා කියලා. මේක අලුත් දෙයක් විදිහට තමයි කිව්වේ. විශ්වකර්ම වැඩක් විදිහට තමයි කිව්වේ.
නලින්ද ඇමතිතුමාට දැන් ගොඩක් දේවල් අමතක වෙනවා. එතුමාට මතකද දන්නේ නෑ ලෝක බැංකුව මුලින්ම සෞඛ්‍ය සේවයට මැදිහත් වුනේ 2018 අබුඩාබි වල තිබුණ ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ සමුළුවකින් පස්සේ කියලා.
අමතක අයට, මම Reorganising Primary Health Care in Sri Lanka සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2017 දෙසැම්බර් වාර්තාව සභාගත කරනවා. මේකේ පදනම පිටු අංක 30 තියෙනවා.
අද සෞඛ්‍ය ඇමතිතුමා කියන කතාව යහපාලන ආණ්ඩුවේ මේ වාර්තාවේ තියෙනවා.
ඇමතිතුමාට මේ කතාව ලියලා දුන්න කිව්ව නිලධාරි මේක අහගෙන ඉන්නවා නම් මම කියන්නේ,
‘අනේ මේ මනුස්සයාට මෙහෙම ලනු දෙන්න එපා’
රවට්ටන්න එපා.
බොරු කියන්න එපා!
ඇමරිකාවේ ජනපති ජීමී කාටර්, බිල් ගේට්ස්, ලෝක බැංකු අධිපති සහ ලංකාවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ත් ඒ සමුළුවට ගියා. එහි ප්‍රතිඑලයක් විදිටහ නිව්යෝක් සහ ජිනීවා වල රැස්වීම් දෙකක් තියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට රු. මිලියන 200 ක් දුන්නා මේ ‘වෛද්‍ය පරීක්ෂණ’ රාජ්‍ය අංශය මගින් කරන්න අවශ්‍ය පහසුකම් හදන්න.
සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් මේ ‘අලුත් වැඩක් කියලා පටන්ගත්තේ’ 2018 යහපාලන ආණ්ඩුවෙන් ‘දෙවන පියවර’
සෞඛ්‍ය ඇමතිතුමාට මම මේ වාර්තාවේ 30 වෙනි පිටුවේ කොපියක් අරගෙන ආවා. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිතුමාටත් පිටපත් දෙන්න.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්න තියෙනවා. රටම ඒක දන්නවා.
ඇයි ඔබලා තවදුරටත් මෙහෙම බොරු කියන්නේ?
දැන් ඉන්නේ 2200 සායනික විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉන්නේ 1900 යි. මේ අවුරුද්දේ පුරප්පාඩු ලේඛනයේ 750 ක් තියෙනවා. අද වන විට මන්නාරම රෝහලට සති දෙකකින් ළමා විශේෂඥයෙක් නෑ. දිනපතා ඉල්ලීම් කෙනෙවා. රට දුවන්නේ බෝඩ් ස්ර්ටිෆයිඩ් වෛද්‍යවරුන් ගෙන් .
අද උදේ වන විට, 2026 ස්ථාන මාරුවීම් ලැයිස්තුවට අනුව විශේෂඥ වෛද්‍යරුන් 780 ක හිඟයක් තියෙනවා.
විදේශ පුහුණුව අවසන් කරලා රටට ආපු වෛද්‍යවරු 278 යි.
එකෙන් විශේෂඥ වෛද්‍යවරු 100 ක් රටට ඇවිල්ලා වාර්තා කරලා ආපහු විදේශගතවෙලා තියෙනවා.
ඒ කියන්නේ දැනට විශේෂඥ වෛද්‍යවරු 780 ක හිඟයක් තියෙනවා. එයින් එන්නේ 180 යි. 2026 මාරුවීම් සිද්ධ කරනකොට විශේෂඥ වෛද්‍යවරු 600 ක හිඟයක් තියෙනවා.
ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු තනතුරු 180 ක් තියෙනවා. නමුත් ඉන්නේ 130 යි. මේ ඉතුරු 60 ම පුරප්පාඩුයි.
නිර්වින්ද විශේෂඥ වෛද්‍යවරු – ගාල්ලේ කරාපිටියේ රෝහලේ උදර, බයිපාස්, ස්නායු ශල්‍ය අංශවලට නිර්වින්දන වෛද්‍යවරු නෑ. තනතුරු කීයක් 225 තනතුරු තිබුණා. පුරප්පාඩු 65 ක් තියෙනවා. ලංකාවට උපාධි සම්පූර්ණ කරලා ආපු 25 න් 10 න් ආපසු ගිහිල්ලා.
ළමා රෝග විශේෂඥයින් ගේ 70 ක හිඟයක් තියෙනවා.
අක්ෂි ශල්‍ය වෛද්‍යරු 20 කට වැඩි සංඛ්‍යාවක් හිඟයි. උතුරු මැද පලාතටම ඉන්නේ වෛද්‍යවරු 2 යි. සමහර දිස්ත්‍රික්කයකටම අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් නෑ.
විශේෂඥ වෛද්‍ය හිඟය නරකටම බලපාන්නේ ළමාරෝග, නිර්වින්දණ, ශල්‍ය වෛද්‍ය, ස්නායු ශල්‍ය වෛද්‍ය, කේෂ්ත්‍රවලටයි.
මේ ආන්ඩුවේ දුෂ්ඨ අය වැය යෝජනා නිසා තවදුරටත් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ මානව සම්පත් ප්‍රශ්න වැඩි වෙනවා.
මෙවර අය වැයෙන් වෛද්‍යවරුන්ගේ හෙදියන්ගේ, පරිපූරක වෛද්‍ය සේවාවල නිවාඩු දින දීමනාව කපලා. ඔවුන්ට ලැබෙන දීමනා කපලා. ලංකාව අද සෛෟඛ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත් බිහිකරලා පිටරට ට පටවන රාජ්‍යයක් බවට පත්වෙලා.
ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයින්, හෙද සිසුන්ගෙන් සේවා ව ගන්නේ යුරෝපය, මැදපෙරදිග, ඕස්ට්‍රෙිලියාව නැත්තම් කැනඩාව.
මේ ආණ්ඩුව ජනතාවාදී කිව්වා ක්‍රියාවෙන් නම් කරන්නේ ශ්‍රී ලංකන් එකේ ණය ගෙවන එක වගේ අන්ත නාස්තිකාර වැඩ.
ආයුර්වේද සහ යුනානි වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ද කියන්න ඕනි. අද වන විට ලංකාව පුරාම මධ්‍යම පළාතේ විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍යරුන්ගේ බරපත හිඟයක් තියෙනවා. මුළු වෛද්‍ය අවශ්‍යතාවයෙන් 40%ක හිඟයක් තියෙනවා.”