ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදීම ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 4 ක තියුණු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම ඉකුත් 22දා සමත් විය.
ඉන්දියාවේ මුම්බායිහි පටෙල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස අම්බතී රයිදු සහ නායක සචින් ටෙන්ඩුල්කාර් පිටියට පිවිසි අතර රයිදු ලකුණු 5ක් ලබා සිටියදී දැවී ගියේය. සචින් ටෙන්ඩුල්කාර් දැවී ගියේ ලකුණු 10ක් ලබා සිටියදීයි.
ඉන්දීය ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ස්ටුවට් බිනී ලකුණු 68ක් රැස්කළේ පන්දු 31කට මුහුණ දෙමිනි. ඊට හයේ පහර 7ක් සහ හතරේ පහර තුනක් ඇතුළත්. යුවරාජ් සිං නොදැවී ලකුණු 31ක් රැස්කළ අතර යූසුෆ් පතාන් නොදැවී ලකුණු 56ක් රැස්කළේ පන්දු 22ට පමණක් මුහුණ දෙමිනි.
ඒ අනුව ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 222ක් රැස්කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 2ක් බිඳ හෙලීය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග සහ නායක කුමාර සංගක්කාර පිටියට පිවිසි අතර උපුල් තරංග ලකුණු 10ක් ලබා සිටියදී දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි ලහිරු තිරිමාන්න ලකුණු 24ක් ලබාගැනීමට සමත් විය.
කලකට පසු යළි ක්‍රිකට් පිටියට පිවිසි කුමාර සංගක්කාර විශිෂ්ට නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 30ක් තුළ ලකුණු 51ක් රැස්කළ අතර ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.
අනතුරුව පිටියේ එක්වූ ජීවන් මෙන්ඩිස් සහ අසේල ගුණරත්න ශ්‍රී ලංකා ඉණිම ජයග්‍රහණය කරා යාමට මහත් වෙහෙසක් දැරුවේ වේගවත් ඉණිම් ක්‍රීඩා කරමිනි. ජීවන් මෙන්ඩිස් ලකුණු 42ට දැවී ගිය අතර ඒ සඳහා ඔහු වැයකළේ පන්දු 17ක් පමණි.
කෙසේ වෙතත් අවසන් පන්දු දෙකට ලකුණු 6ක් ලබාගැනීමට තිබුණ අතර අසේල ගුණරත්නගේ දැවීයාමත් සමග එම ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් හිමිකර ගැනීමට සමත්විය