Home අද මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතනය : හද කම්පා කරවන පුවතක් !

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතනය : හද කම්පා කරවන පුවතක් !

64
0

නිට්ටඹුව නගරයේ පිහිටි පැෂන් හවුස් නමැති ගොඩනැඟිල්ලේ තුන්වන මහලේදී පහරකෑමට ලක්ව ඝාතනය වූ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ හා ඔහුගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයාගේ සිරුරු පහර දුන් පුද්ගලයන් විසින් පියගැට පෙළ ඔස්සේ පහළ මාලයට ඇදගෙන විත් දමන විටත් ඔවුන් දෙදෙනා මියගොස් නොතිබූ බව සිය වෛද්‍ය විද්‍යාත්මක නිගමනය වනබව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න ඊයේ (28දා) ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් පැවැසීය.

තුන්වන මහලේදී පමණක් නොව එකී මරණකරුවන්ගේ සිරුරු එතැන් සිට මීටර් 97ක දුරක් පණ පිටින්ම පියගැටපෙළ ඔස්සේ පහළට ඇදගෙන යනවිටත් පහර කෑමකට ලක්ව තිබූ බවට තමන් නිගමනය කළ බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

එසේම අතරමගදී සිදුවූ පහරකෑම් මෙන්ම එකී සිරුර පහළට ඇදගෙන යෑමේදී සිදුවූ තුවාල ද එකී මරණවලට හේතුපාදක වී ඇති බවට වෛද්‍ය මතයක් ලෙස දැක්විය හැකි බවද ඔහු වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් සඳහන් කර ඇත.

2022 වසරේ මැයි 9 වැනිදා ගෝල්ෆේස් පිටියේදී අරගලකරුවන්ට එකල පැවැති රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ මෙහෙයවීම යටතේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පොලු මුගුරුවලින් සිදු කළ පහරදීමෙන් අනතුරුව රට පුරා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේදී නිට්ටඹුව ප්‍රදේශයේදී පහරකෑමට ලක්වූ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අමරකීර්ති අතුකෝරළ හා පොලිස් සැරයන් ජයන්ත ගුණසේකර යන අය ඝාතනයට ලක් වූහ. එසේ ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (28දා) කැඳවිණි.
.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රමේෂ් අලගියවන්න මහතාගේ සාක්‍ෂියෙන් පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය අවසන් කෙරුණ අතර එම නඩුවේ විත්තියේ සාක්‍ෂි කැඳවීම ලබන අප්‍රේල් 25 වැනිදා සිදු කිරීමට සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රශාන්ත ගොඩවෙල යන විනිසුරු මඬුල්ල තීරණය කළහ.
2023.6.19 වැනිදා ආරම්භ වූ එම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිවිල් පුරවැසියන් ඇතුළු 78 දෙනකුගේ සාක්‍ෂි මෙහෙයවා තිබූ අතර පැමිණිල්ලේ ප්‍රදර්ශන භාණ්ඩ හා වාර්තා 284 ලකුණු කොට තිබිණි. සිද්ධියට අදාළ ඡායාරූප 470 හා ලේඛන 44ක් පැමිණිල්ල වෙනුවෙන් ලකුණු කොට තිබූ අතර දළ සැලසුම් 15ක් මෙන්ම වෙනත් වාර්තා 41 ක් ද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ සලකුණු කොට තිබිණි. රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය විය.

Previous articleජනපති උපදේශක දුමින්ද හුලංගමුව ඉවත් කරන යෝජනාවක් : චෝදනා පත්‍රයක් එළියට !
Next articleදේශබන්දුට හැංගෙන්න උදව් කළ අයෙකුට ඇප !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here