අනුරාධපුර පිහිටි නුවර වැවේ බැම්ම මතින් වාහනය ධාවනය කළ යුතු ද නැද්ද තීරණය කළ යුත්තේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මිස හැර වාරි මාර්ග අධ්‍යක්ෂ නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
වාරිමාර්ග අධ්‍යක්ෂට එවැනි තීන්දු ගතහැකි නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් පලක් නොමැති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති වසන්ත සමරසිංහ මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස්වීම අවස්ථාවේය.
වසර 15කට අධික කාලයක් වසා ඇති නුවර වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය සංචාරක ආකර්ෂණයට හේතු වන බැවින් තාක්ෂණික ගැටලුවක් නොමැති නම් විවෘත කළ යුතු බව එම කමිටු සභාපති වසන්ත සමරසිංහ පෙර පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමක දී යෝජනා කර තිබී ඇත.
ඒ සම්බන්ධව පසුගියදා පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අවධානය යොමුකිරීමේදී කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා පවසා ඇත්තේ අදාළ යෝජනාව සම්බන්ධව වාරි මාර්ග අධ්‍යක්ෂවරයා කරුණු සලකා බලා තව දුරටත් වැව් බැම්ම ගමනාගමනයට විවෘත කළ නොහැකි බවත් සංචාරකයන්ට එහි පාපැදිවලින් සහ පා ගමනින් යෑම සඳහා අවසර ලබා දීමට හැකි බව දැනුම්දී ඇති බවයි.
මෙම වැව් බැම්ම වසර 100ක පමණ කාලයක සිට ප්‍රමාණවක් ප්‍රතිසංස්කරණයක් සිදුකර නොමැති බවත් කිහිප ස්ථානයක ජල කාන්දු සිදුවීම සහ වැව් බැම්ම පටු වීම හේතුවෙන් වාහන දෙකකට හුවමාරු වීමට ප්‍රමාණවත් නොවන බවත් එහිදී හේතු ලෙස කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ පෙන්වා දුන්නේය.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසා සිටියේ වැව් බැම්ම මතින් වාහන ගමනාගමනයේ අවශ්‍යතාවක් නැතැයි වාරිමාර්ග අධ්‍යක්ෂට තීන්දු කළ නොහැකි බවත් එය එසේ නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් පලක් නොමැති බවත් ය.
එහි දී කලාප වාරි මාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේ මෙම කරුණු සියල්ල වාරි මාර්ග අධ්‍යක්ෂ වෙත යොමු කරන බවත් තමා වැඩ කරන්නේ වාරිමාර්ග අධ්‍යක්ෂගේ නියෝග අනුව බවත්ය. එසේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවවේ උවමනාවට අදාළ මාර්ගය විවෘත කර වැව් බැම්ම කඩා ගෙන ගියහොත් තමන් වග නොකියන බව ද කලාප වාරි මාර්ග අධ්‍යක්ෂ වැඩි දුරටත් සඳහන් කර සිටියේය