නිර්ධන නමැති පන්තිය නියෝජනය කළ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු එම පන්තිය අමතක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හම්බන්තොට පැවැති ජන හමුවකදී ඊයේ (මාර්තු 27) පැවසීය.
රටේ ජනතාව විඳින දුක, වේදනාව, පීඩනය හා අසහනය ගැන ජනාධිපතිවරයාට හෝ රජයට අවබෝධයක් නොමැති බව ත් ජන දුක තේරෙන නාඩිය වැටෙන්නේ නැති බව ත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට කිරිපිටි මිල, සහල් මිල, පොල් මිල වැඩි වී ඇති මොහොතක නහයෙන් අඬමින් කෙඳිරි ගාමින් සිටින බව ත් බල්ලන්ට, වඳුරන්ට වරද පටවා වැඩක් නොකර කෙඳිරි ගාමින් සිටින බව ත් ඔහු කීවේය.
විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර වෙනස පැහැදිලි බව ත් පොදු ජනතාව අමතක කර ඇති බව ත් විපක්ෂ නායකවරයා චෝදනා කළේ ය.
විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක වැඩකරන ජනතාව, පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නැඟූ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායකට දුප්පත් ජනතාව වැඩ කරන ජනතාව ගොවි, ධීවර, කම්කරු ජනතාව අමතක වී ඇති බවට ඔහු චෝදනා කළේ ය.
ආණ්ඩුවට ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට නොහැකි වීම නිසා ජනතාව දැඩි පීඩනයකින් ජීවත් වන බව ත් පාසල් උපකරණවලට සහ අත්‍යවශ්‍ය ආහාරවලට පවා වැට් ගසා ඇති බව ත් කී විපක්ෂ නායකවරයා රැකියා ලබාදෙන බව කියා රැකියා විරහිත උපාධිධාරීන් රවටා ඡන්දය ලබාගෙන අද වන විට එම රැකියා විරහිත උපාධිධාරීන් ආණ්ඩුව මහපාරට ඇද දමා ඇතැයි සඳහන් කළේ ය.