පාදෙණිය මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදාවේ ගුවන් යානය පිළිබඳ ගුවන් හමුදාපතිවරයා විසින් පත්කළ සත්පුද්ගල කමිටු වාර්තාව තවමත් ගුවන් හමුදාව වෙත ලැබී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ පවසනවා.
වාර්තාව තවමත් ලැබී නොමැති හෙයින් අනතුරට හේතුව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කියා සිටියා.
කෙසේ වෙතත් ගුවන් හමුදාපති විසින් පත්කළ සත්පුදගලා කමිටු වාර්තාව ගුවන් හමුදාවටවත් නොලැබුන පසුබිමක මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ තමන් එම වාර්තාව ආරක්ෂක ලේකම්වරයාගෙන් ගෙන්වා ගත බවයි.
සිදු වූ අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා
”ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කුරුණෑගල, පාදෙණිය, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී බිඳ වැටීම සම්බන්ධ වාර්තාව ඇත්තටම මම ආරක්ෂක ලේකම්තුමා මගින් ගෙන්න ගත්තා. පසුගිය 21 වෙනිදා. එතුමලා ඒ වාර්තාව මං හිතන්නේ ජනාධිපතිතුමා හෝ එතුමලාගේ මාධ්‍ය සඳහා හදලා තිබුණා. ඉතින් ඒකට අනුව ගත්තොත් ඒ ගුවන් යානාව ඒ වාර්තාව අනුවත් විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමා පැහැදිලි කරපු විදිහට, එතුමා එතුමත් හිටපු ගුවන් හමුදාවේ ප්‍රධානියෙක්.
ඒකට අනුව ගත්තොත් ඒ ගුවන් යානයේ බඳේ පරණකමක් හෝ එහෙම ප්‍රශ්නයක් නෑ. දෙක තමයි ගුවන් යානයේ එන්ජිමේ ප්‍රශ්නයක් නෑ. මොකද අපි අර පරණ වාහන පාරේ දිව්වට ගුවන් යානා එහෙම දුවන්න බෑ. ඒවා අනිවාර්යයෙන්ම අදාළ ලයිසන් අරන් තමයි දුවන්නේ. ඉතින් ඒවා පරණ එකක් නෙමෙයි. එකමදේ පුහුණු වෙනකොට ප්ලේන්වල එල් බෝඩ් ගහලා තිබුණේ නැති වුණාට ඒ ගියපු කට්ටිය පුහුණු වෙන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ අත්වැරදීමක් වෙලා තියෙනවා.
ඉතින් අපි සතුටු වෙනවා අඩුගානේ ඒ නියමුවන් දෙදෙනා බේරිච්ච එක ගැන. මගේ දැනීමේ හැටියට ඒ වාර්තාව අනුව විශාල දේපළ හානියක් ප්‍රදේශයට වෙලා නෑ. නමුත් යම් යම් ගස් කොළන් වලට යම් හානියක් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම ගත්තොත් පුහුණුවීම්වලදී අපේ රටෙත්, ලෝකේ කොයි රටෙත් වෙන දෙයක්. ඒ ඇර වෙන කිසිම හේතුවක් ඒකට සම්බන්ධ නැහැ කියන එක තමයි තාක්ෂණික වාර්තාව අනුව තියෙන්නේ.”