ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් (20) අවසන් වීමට නියමිතව තිබේ.
අද මධ්‍යහ්න 12.00න් පසුව නාමයෝජනා භාරගැනීම් සිදුනොකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණි.
නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ (19) දිනයෙන් අවසන් කෙරුණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ ජනතාව අපේක්ෂා කළ වෙනස ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ලබාදීමට සර්වජන බලය පක්ෂය සූදානම් බවය.
පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂයෙන් දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.