මීට මාස දෙකකට පෙර කතානායක ධූරයෙන් ඉල්ලා අස්වෙන අවස්ථාවෙ සඳහන් කළ පරිදි තම අධ්‍යාපන සුදුසුකම් මෙතෙක් ඉදිරිපත් කිරීමට අසමත්වීම ජනතාවට ප්‍රශ්නයක් නොවන බවත්, පාර්ලිමේන්තුවට අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීම තුට්ටු දෙකේ වැඩක් බවත් හිටපු කතානායක, ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ BBC සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.
එහිදී කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළ පරිදි අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව යළිත් BBC මාධ්‍යවේදියා විමසීමේදී ඊට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ, “මම නැවත නැවතත් කියන්නේ ජනතාවට ඉදිරිපත් කරන ක්‍රමවේදය මොකක් ද කියන්න. ජනතාවට එහෙම දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන ක්‍රමවේදය.” කියාය.
එම අවස්ථාවේ BBC මාධ්‍යවේදියා “: ඔබ තුමාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්?” කියා පැවසූවත් ඊට මන්ත‍්‍රීවරයා ලබාදුන්නා මෙවන් ප්‍රතිචාරයකි.
“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එහෙම ක්‍රමවේදයක් තියෙනව ද? මොකක් ද ඒකෙ තියෙන සම්ප්‍රදාය මොකක් ද? ඒවා මහ තුට්ටු දෙකේ වැඩ. පාර්ලිමේන්තුවට යන්නේ තමන්ගේ සහතික පෙන්වන්න නෙමෙයි. හරි ද? ඒක නෙමේ ඊට වඩා විශාල දෙයක් අපි කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ. නමුත් අපි අපේ ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධව මැදිහත් වෙනවා. ඒකට අවශ්‍ය දේවල් අපි ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. කරගෙන යනවා වැඩ ටික.”