Home අද ‘නිහඬ වූ, යුගයක රාවය’ – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද දැයෙන් සමුගනී

‘නිහඬ වූ, යුගයක රාවය’ – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද දැයෙන් සමුගනී

10
0

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය. කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන වියෙහි පසුවුණි.

මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා 1949 වසරේ ජූනි 26 වනදනි උපත ලබා තිබේ. අරගලකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය ජවය 71 කැරැල්ලට ලබාදුන්නේ පොඩි අතුල ලෙස පෙනී සිටිමිනි. 71 කැරැල්ලේ සන්නද්ධ අංශයේ කටයුතු කළ ඔහු සිය ජීවිතය අවදානමේ හෙළමින් ක්‍රියාකළ අයුරු ඔහුගේ ජීවිතයේ මතක සටහන්වල සඳහන්ව තිබේ.

දේශපාලන විචාරකයෙක්, න්‍යායාචාර්යවරයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වූ වික්ටර් අයිවන් මහතා රට තුළ වඩාත් පතල වූයේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියෙක් ලෙසිනි. එහි කුටප්‍රාප්තිය ඔහු රාවය සඟරාව සහ රාවය පුවත්පත් ආරම්භ කිරීමය. රාවය පුවත්පතේ කර්තෘවරයා ලෙස කිසිවිටක කිසිවෙකුට නොභියව ඔහු සිය පැන හැසිරවූ අයුරු අසමසම වේ.

ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා පිළිබඳ ඔහු රාවය පුවත්පතේ සිදුකළ වාර්තාකරණය අදටත් කතාබහට ලක්වන මාතෘකාවකි. ඍජු ගවේෂණාත්මක වාර්තාකරණය නිසාම ලංකාවේ වැඩිම අපහාස නඩු සඳහා මුහුණදීමට සිදුවු මාධ්‍යකරුවා ලෙස වික්ටර් අයිවන් ඉතිහාසගත වේ.

සාපරාධී අපහාස නීතිය යටතේ මෙරට මාධ්‍යවේදීන්, රාජ්‍ය තන්ත්‍රයෙන් බැටකමින් සිටියදී ඊට එරෙහිව හඬ නගමින් එම නීතිය ඉවත් කිරීම සඳහා වික්ටර් අයිවන් මහතා විචක්ෂණශීලිව ක්‍රියා කළේය. පුවත්පත් කලාවේදියෙකු ලෙස පමණක් නොව ගත් කතුවරයෙක් ලෙසත් මහත් සමාජ මෙහෙවරක් කළ ඔහු, පෑන අහිංසකද?, කඳුළු සලන පාරාදීසය, දෙමළ අභියෝගය, ලංකාව ගලවා ගැනීම ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කළ අතර ඒ අතරින් චෞර රැජින ග්‍රන්ථය දැඩි කතාබහකට ලක්විය.

කලක් අසනීපව සිටි වික්ටර් අයිවන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබුණේ ගාල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී ය. වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකිරීමට නියමිත අතර ඒ අනුව අවසන් කටයුතු ගාල්ලේ දී අද සිදු කෙරේ.

Previous articleපලස්තීන සිරකරුවන් 90 ක් හා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 03 ක් නිදහස්
Next articleස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here