ගොවීන් තම නිෂ්පාදන වියදම ලෙස වී කිලෝවක් සඳහා රුපියල් 110-115ක පමණ මිලක් පෙන්වා සිටින බැවින් වී සඳහා සහතික මිලක් නියම කිරීමේ බරපතළ දුෂ්කරතාවකට රජය මුහුණදී සිටින බව වාර්තා වෙයි.
විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රජය මුහුණදී සිටින අර්බුදය වන්නේ නිෂ්පාදන මිලට තවත් එයින් තුනෙන් එකක් එක්කර වී සඳහා සහතික මිල ගැසට් කිරීමේ සූදානමක් පැවතියත් නිෂ්පාදන මිල ඉහල අගයක් ගැනීම හමුවේ වී සඳහා වන සහතික මිල රුපියල් 150 ක් පමණ වීමත් ඒ සමඟ සහල් කිලෝව රුපියල් 300 ක් පමණ මිල ඉහල යාමේ අවධානමක් මතුව තිබීමයි.
මෙම තත්ත්වය හමුවේ නැගෙනහිර පළාත කේන්ද්‍ර කොටගෙන මහ කන්නයේ වී අස්වැන්න ලැබෙමින් පැවතියත් වී සඳහා වන සහතික මිල මෙතෙක් ගැසට් කිරීමට රජයට හැකියාවක් ලැබී නැත.
කෙසේ වුවත් ජාතික ජනබලවේගය පක්ෂය විපක්ෂයේ සිටියදී මෙන්ම ආණ්ඩු බලය ලැබීමෙන් පසුව අවස්ථා ගණනකදී රට හමුවේ පොරොන්දු වූයේ වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදෙන බවයි.