Home අද වගා හානිය සහල් ආනයනය කිරීමට තරම් බරපතළ නෑ

වගා හානිය සහල් ආනයනය කිරීමට තරම් බරපතළ නෑ

67
0

අයහපත් කාලගුණය හමුවේ සිදුවූ වගා හානිය සහල් ආනයනය කිරීමට තරම් බරපතළ කාරණයක් නොවන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන පවසයි.

වගා හානියෙන් ශේෂ වූ නිෂ්පාදනය මාස හතකටත් එළැඹෙන යල කන්නයේ නිෂ්පාදනය තවත් මාස හයකටත් දේශීය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වීම ඊට හේතුවද ඔහු පෙන්වා දෙයි.

කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ එළැඹෙන මහ කන්නයේදී අවම වශයෙන් මාස 7කට ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් ලැබෙන බැවින් අපේක්ෂිත නිෂ්පාදනය සමග සමස්ත හානිය කලබල විය යුතු තත්ත්වයක නැති බවයි.

එසේම වාර්ෂික සහල් අවශ්‍යතාවයෙන් 65%ක් පමණ වී නිෂ්පාදනයක් ලැබෙන මහ කන්නයේදී කුඹුරු අක්කර ලක්ෂ 20ක් පමණ වගා කෙරෙන බවත් එමගින් අපේක්ෂිත මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක වී නිෂ්පාදනය මාස 9ක දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් වන බව ත් ඒ මහතා පවසයි.

මේ මහ කන්නයේ වගා හානිය උපරිමය අක්කර ලක්ෂ 4ක් ලෙස සැලකුවහොත් එයින් පහළ වැටෙන්නේ සමස්ත නිෂ්පාදනයෙන් 20%ක් බවත් ඉතිරි 80% මාස 7ක දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් බවත් සඳහන් කරන ඔහු එම නිෂ්පාදනය පෙබරවාරි මස සිට ලැබෙනු ඇති බවත් මෙවර හානි වූ බිම්වලින් කොටසක හෝ නැවත වගාකිරීම් සිදුවන බව ත් මෙවැනි හානි මහ කන්නය ආරම්භ වන බොහෝ අවස්ථාවල සිදුව ඇති බවත් පෙන්වාදෙයි.

කෙසේ වෙතත්, මෙසේ ලැබුණු අධික වැසි සමග වී නිෂ්පාදනය කෙරෙන සියලු පෙදෙස්වල වැව් පිරී ගොස් ඇති බැවින් එළැඹෙන යල කන්නය සාර්ථක වනු ඇති බව පවසන ප්‍රියදර්ශන මහතා එසේ සාර්ථක වන යල කන්නයෙන් තවත් මාස 6ක දේශීය පරිභෝජන අවශ්‍යතා සැපිරෙනු ඇති බවත් ඒ අනුව සිදුව ඇති වගා හානිය නිසා ලබන වසරේදී සහල් ආනයනය කිරීමට කිසිසේත් සිදු නොවන බවත් අවධාරණය කර ඇත.

Previous articleපාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් – විපක්ෂයෙන් කථානායකට පැමිණිලි
Next articleමහවිරු සැමරුම පෝස්ට් ශෙයා කළ තරුණයා 17 දක්වා රිමාන්ඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here