Home අද තෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට බැරි නම් බෑ කියන්න – චම්පික

තෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට බැරි නම් බෑ කියන්න – චම්පික

125
0

තෙල් මිල අඩු කළ නොහැකි නම් ආණ්ඩුව ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු ද, වන එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ,‘ විදුලි බිල සහ තෙල් මිලට කුමක් කරමුද’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී අද (03) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමට පෙර තෙල් මිල අඩු කරන බවට පොරොන්දු වූ නමුත් තෙල් මිල සූත්‍රයක් ඇති අතර ඊට අනුව මිල අඩු කළ නොහැකි බවත්, එසේ කළහොත් අයි.ඕ.සී. සහ සිනොපෙක් සමාගම්වලට වන්දි ගෙවීමට සිදු වන බවත්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විටින් විට ප්‍රකාශ කළ බවද හිටපු මන්ත්‍රීවරයා සිහිපත් කළේය .

එසේම තමන් විදුලිබල අමාත්‍යවරයාව සිටියදී 2015 දී ඩීසල් සහ පෙට්‍රල් මිල සියයට 40 කින් අඩු කළ බවත් එවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලැබූ බවත් රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

තෙල් මිලට රුපියල් 50 ක බද්දක් (ඩීසල්) සහ රුපියල් 72 ක බද්දක් (පෙට්‍රල්) ඇතුළත් වන අතර, සියයට 18 ක වැට් බද්දක් ද අය කරන බවත් මෙම බදු අඩු කිරීමෙන් තෙල් මිල අඩු කළ හැකි බවත් සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා එමගින් ආර්ථිකය පුනර්ජීවනය කළ හැකි බවත් පැවසීය.

එබැවින් ආණ්ඩුවට තෙල් මිල අඩු කළ නොහැකි නම් ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත්, බදු අඩු කළහොත් ආණ්ඩුව ගෙන යා නොහැකි බව පිළිගත යුතු බවත් ඔහු සඳහන් කළේය .

“මැතිවරණ වේදිකාවේදී අපිට ඇහුණේ මේවා අඩු කරන්න පුළුවන් කියන කතාව. හිටපු විදුලිබල හා බලශක්ති ඇමති හැටියටත්, 2015 දී අපි ජනතාව ඉදිරියේ පොරොන්දුවක් දුන්නා. අපි අඩු කරලා පෙන්නුවා. ඒ අඩු කරලත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ උපයන තැනක් බවට, ඒ වගේම මූල්‍යමය වශයෙන් ශක්තිමත් තැනක් බවට ඊළඟ අවුරුදුවල අපි පත් කළා. දැන් මොකක්ද තෙල්වල තත්ත්වය? අපි කවුරුත් දන්නවා තෙල් මිල සැදෙන්නේ යම්කිසි ආකාරයක ක්‍රියාවලියක් මගින්. ලංකාවට තෙල් අපි ටෙන්ඩර් පටිපාටියක් මත ගෙන්වනවා. අපි බොරතෙල් ගෙන්නලා සපුගස්කන්දේ පිරිපහදු කරනවා. දැනට ඒ කටයුත්ත හුඟක් අඩපණ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කෙලින්ම ඩීසල්, පෙට්‍රල් මිලදී ගන්නවා. අයි.ඕ.සී. එකත්, සිනොපෙක් එකත් ඒ විදිහට තමයි ක්‍රියා කරන්නේ. එතකොට එහෙම ගේන පෙට්‍රල්, ඩීසල් වලට යම් ප්‍රිමියම් එකක් එනවා. ඒක වෙළඳපොළේ තියෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්. ඊට පස්සේ අපි කවුරුත් දන්නවා වරායට ගොඩබැහුවට පස්සේ අපිට තියෙනවා, එහෙම නැත්නම් CIF එක. CIF කියන්නේ Cost, Insurance and Freight. අන්න ඒ අගය ආවට පස්සේ, ඒ අගයට බදු එනවා ආණ්ඩුවෙන්. සැප්තැම්බර් මාසේ මිල ගණන් ගැන බැලුවහම සාමාන්‍යයක් හැටියට මම මේ කියන්නේ. සිපෙට්කෝ එක එක ගානකට ගෙනල්ලා තියෙනවා. නමුත් බදු අය කරලා තියෙනවා පෙට්‍රල් වලින් රුපියල් 110 ත්, 117 ත් අතර මේ සමාගම් තුනෙන්ම රජය. ඒ වගේම බදු අය කරලා තියෙනවා ඩීසල් වලින් රුපියල් 88 ත්, 94 ත් අතරේ මේ සමාගම් තුනෙන් වෙන් වෙන් වශයෙන්. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 115 ක් පමණ පෙට්‍රල් වලිනුත්, රුපියල් 90 ක් පමණ ඩීසල් වලිනුත් බදු අය කරනවා. දැන් එතකොට මේ ගාන අඩු කළහම සමාගම්වලට ගෙවන්න තියෙනවා කියන්නේ මොකක්ද?” යැයිද හෙතෙම පැවසීය.

Previous articleපාලන බලපත්‍ර නැතුවම සහල් ආනයනයට අවස්ථාව !
Next articleපාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් – විපක්ෂයෙන් කථානායකට පැමිණිලි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here