Home අද CID පරීක්ෂණයට බයේ වේලාසනින් විශ්‍රාම ගිය නිලධාරියා අධ්‍යක්ෂ මණ්ඩලයට අරගෙන – කංචන...

CID පරීක්ෂණයට බයේ වේලාසනින් විශ්‍රාම ගිය නිලධාරියා අධ්‍යක්ෂ මණ්ඩලයට අරගෙන – කංචන සියල්ල හෙළිකරයි

544
0

වත්මන් පාලනය යටතේ ඉන්ධන මිල අවස්ථා දෙකකදී සංශෝධනය කළත් එය සිදුකළේ ඛනිජ තෙල් සංස්ථාවේ මිල සූත්‍රය අනුවද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් ඇති බව විදුලි බල සහ බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

තමන් එම අමාත්‍යාංශයේ වගකීම් දරන සමයේදී ඉන්ධන මිල සංශෝධනය කිරීමට සමගාමිව ඊට අදාළ මිල සූත්‍රය පාර්ලිමේන්තුවට සහ මාධ්‍ය වෙත නිකුත් කළ බව සිහිපත් කළ ඒ මහතා වත්මන් ආණ්ඩුව යටතේ එවැන්නක් සිදු නොවූ බවද සඳහන් කළේය.

හිටපු අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එසේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්ව සිටින ඩී.ජී.රාජකරුණා නම් වෘත්තීය සමිති නායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් හමුවේ වේලාසනින් විශ්‍රාම ගිය නිලධාරියකු අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙන ඇති බවත් ඒ මහතා අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්ව සිටින ඩී.ජී.රාජකරුණා නම් වෘත්තීය සමිති නායකයා මීට දින කිහිපයකට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවේදී අසත්‍ය කරුණු රැසක් සඳහන් කළා. එහිදී ඔහු සඳහන් කළ ආකාරයට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනය කළාට අනෙක් සමාගම් වෙත ගෙවීමක් කරන්න නෑ. සංස්ථාවට පුළුවන් ස්වාධීන ලෙස මිල සූත්‍රය අනුව කටයුතු කරන්න. එහිදී අනෙක් සමාගම් වල ලාභාංශ හෝ අලාභාශ ගැන බලන්න දෙයක් නෑ. මිල සූත්‍රය සකස්කර තිබෙන්නේ සංස්ථාවේ පිරිවැය පදනම් කරගෙන.

එහෙම පසුබිමක රාජකරුණා සභාපති අසත්‍ය කරුණු කියන්නේ මොන පදනමකින් ද කියලා පැහැදිලි නෑ. එක්කෝ අනවබෝධය වෙන්නත් පුළුවන්. ඔහු සභාපති වීමට පෙර ඛනිජ තෙල් සංස්ථාවේ මුතුරාජවෙල තොග ගබඩා පර්‍යන්තයේ, සාමාන්‍ය කළමනාකරුවෙක් ලෙස සේවය කළ අයෙක්. ඒ කාලේ ජවිපෙ වෘත්තිය සමිතියට නායකත්වය දුන්නේ මේ පුද්ගලයා. ඔහුට පරිපාලන අත්දැකීම් නොමැතිවීම සහ නොතේරුම්කම වෙන්න පුළුවන්. නමුත් දන්නේ නැත්නම් දන්න කෙනෙකුගෙන් අහගන්න ඕන.

ජනාධිපති අනුර දිසානායක ත් ඊයේ (06) තිබුණු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී ඉන්ධන මිල සූත්‍රය ගැන කතා කළත්, ඔහු නිවැරැදි කරුණු අවබෝධයක් ඇතිව කතා කළ බවක් පෙන්නුම් කළේ නෑ. මේ ඉහළ තනතුරු වලට පත්කළ ජවිපෙ වෘත්තීය සමිති නායකයන් ඔහුවත් නොමඟ යවලා ඇති බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඉන්ධන මිල සූත්‍රය ඇතුළු සංස්ථාවේ ගිවිසුම් ගෙන්වා ගෙන ජනාධිපතිවරයා පරීක්ෂා කළොත් සත්‍ය කකරුණු අවබෝධ කරගන්න පුළුවන් වෙයි.

මේ ආණ්ඩුව බලයට ඇවිත් දැනට දෙවරක් ඉන්ධන මිල සංශෝධනය කරලා තියෙනවා . නමුත් ඊට පදනම් කරගත් මිල සූත්‍රය ප්‍රසිද්ධ කරලා නෑ . ඒ ගැන මාධ්‍ය වගේම කවුරුත් විමසීමක් කරලත් නෑ. ඒ ගැන බරපතළ සැකයක් තියෙනවා . එක පැත්තකින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කියනවා මිල සංශෝධනය කළේ මිල සූත්‍රය අනුව නෙවෙයි කියලා . ඊට පස්සේ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති කියනවා ඉන්ධන මිල සංශෝධනය කළේ මිල සූත්‍රය අනුවයි කියලා. ඒ නිසා අපි බලකරනවා අවස්ථා දෙකෙහිම මිල සංශෝධනය කළේ මිල සූත්‍රය අනුව නම් ඒක ප්‍රසිද්ධ කරන්න කියලා. මොකද අනෙක් සමාගම් වල අපේක්ෂාවට මේ මිල සංශෝධනය කළාද කියලත් සැකයි.

මම අමාත්‍යාංශය කරන කාලයේ සමාගම් ඇවිත් කිව්වා, මිල සූත්‍රය ගණනය කරන විට,පිරිපහදු ලාභාංශය, අලාභාංශය අදාළ කරන්න එපා , ඒක ඔවුන්ට අවාසියක් කියලා . නමුත් එහිදී මා පෙන්වා දුන්නා ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ තියෙන්නේ ,කාලෙකට එය ලාභයි, කාලෙකට පාඩුයි, මෙහෙයුම් වියදම් ,නඩත්තු වියදම් වගේම පිරිපහදුවේ සේවක වැටුප් පවා ගෙවෙන්නේ සංස්ථාව නිසා එය ඉටුකිරීමට නොහැකි බව. දැන් අපිට සැකයක් තියෙනවා සංස්ථාවේ නව පාලනාධිකාරිය සමාගම් වල අවශ්‍යතාවය ඉටුකරලද කියලා.

ඒ වගේම ඔබට මතක ඇති මම අමාත්‍යාංශයේ වගකීම ගත්තට පස්සේ , මාස කිහිපයක් යන තැන , ඒ කියන්නේ 2022 අගෝස්තු මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. ඒ නිවැරැදි විදිහට ඉන්ධන ඇණවුම් කරලා තියෙනවාද ? සාධාරණ මිලකට මිලදී ගැනීම් සිදුකර තිබෙනවා ද ? නිසි ලෙස තොග නිකුත්කර තියෙනවා ද ? ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍යයි කියලා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා අදාළ කාරණා සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කරලා දෙන්න.ඊට පස්සේ ඔවුන්ට විමර්ශනය කරන්න පුළුවන් කියලා . මීට මාස 4කට පෙර ඒ වෝහාරික විගණනයට අදාළ වාර්තා ඔවුන්ට ලබාදීමට මා කටයුතු කළා.

මේ පැමිණිල්ල මං කළේ හේතු ඇතුව. ඔබට මතක ඇති ඒ කාලේ නිතරම ඉන්ධන සැපයුම් නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙවන්න වුණා කියලා ප්‍රවෘත්ති ගියා. දිගින් දිගටම එය සිදුව තිබූ නිසා මට තේරුම් ගියා මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා . ඔය පැමිණිල්ල සිදුකර පරීක්ෂණ ආරම්භ වෙනකොට ඔබට මතක ඇති ප්‍රවෘත්තියක් ගියා, ඒ වගේම සමාජ මාධ්‍ය වලත් ගියා කිසියම් නිලධාරියකු තමන් විශ්‍රාම ගතයුතු කාලයට කලින් විශ්‍රාම ගන්න යනවා, ඔහු විදෙස් ගතවීමේ සූදානමක් තියෙනවා කියලා . ඒ ගැන අපි හොයලා බලනකොට එක නිලධාරියෙක් ඒ විදිහට විශ්‍රාම අරගෙන තිබුණා . ඒ පුද්ගලයා මේ වෙනකොට ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරලා. ඒ වගේම සභාපති රාජකරුණා තමන් වැඩ භාරගෙන පවත්වපු පළමු රැස්වීමේ කියලා , ඒ පුද්ගලයා සහ තමන් 2019 ඉඳලා ජවිපෙ මාලිමාවේ ක්‍රියාකාරීන් ලෙස බලශක්ති විෂය ගැන කටයුතු කළා කියලා. දැන් අපිට සැකයක් තියෙනවා මොවුන් දේශපාලන අවශ්‍යතාවය මත ඉන්ධන අර්බුද ඇතිකරවීමට කටයුතු කළාද කියලා .

වෝහාරික විගණනය ඇතුළු අනෙක් සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියෙන නිසා දැන් අවස්ථාව තියෙනවා ඒ විමර්ශනය කරන්න .

ඒ වගේම වත්මන් සභාපති කියනවා අපි අත්සන් කළ ගිවිසුම් අනීතික සහ රටට අහිතකරයි කියලා . ඇතැම් සමාගම් ඛනිජ තෙල් සංස්ථාවේ සන්නාමය යටතේ මෙහෙයුම් කටයුතු කරනවා කියලා . ඒක එහෙම නම් එය වැරදි , නීති විරෝධී වැඩක්. දැන් සභාපතිට පුළුවන් අදාළ සමාගමේ ගිවිසුම අදම අවලංගු කරන්න.

Previous articleනාමයෝජනා දීමෙන් පසු මේ දක්වා අපේක්ෂකයින් 09ක් පොලිස් අත්අඩංගුවට
Next articleඅවුරුදු පහකට සැලසුම් කරපු වැඩ සති පහකින් ඉවර කරන්න බෑ – විජිත හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here