Home අද ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජනපතිවරණය

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජනපතිවරණය

887
0

මේ දිනවල කාගේත් අවධානය යොමුව ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය දෙසය. මේ ජනාධිපතිවරණය වෙනුවෙන් දේශපාලන වේදිකාවේ නොයෙකුත් ප්‍රකාශ ද සිදු වෙමින් තිබේ. නොයෙකුත් පාර්ශ්වයන් මේ මැතිවරණය ඉලක්ක කරගෙන නොයෙකුත් දේශපාලන සන්ධාන ඇති කර ගනිමින් සිටී. ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ද තීන්දුවක් ගෙන ඇත. ඒ තීන්දුව අගමැතිවරයා ඉකුත් අගෝස්තු 01 වැනිදා ප්‍රකාශයට පත් කළේය. එනම් එම පක්ෂය තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමටය. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝ දෙනෙක් ද මේ වන විට ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව කියා ඇත. එයට බොහෝ දුරට හේතුව වශයෙන් සඳහන් කරන්නේ ආර්ථික සාධකයයි. එනම් වැටුණු ආර්ථික පසුගිය කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් කිසියම් ස්ථාවර තත්ත්වයකට පත් කර ගැනීමට සමත් වීමයි. මෙසේ දේශපාලන පක්ෂ සහ නායකයන් කවරක් කීවත්, කවර තීන්දුවක් ගත්ත ද අවසාන තීන්දුව ඇත්තේ මහජන ඡන්දය මතය. එය නම් අපට දැකබලා ගැනීමට හැකිවනු ඇත්තේ ඉදිරි ජනපතිවරණ ප්‍රතිඵලයෙන් පමණි.

රට බංකොලොත් වීමෙන් පසු මෙතෙක් ආර්ථික ප්‍රගතියට බලපෑ ප්‍රධාන කරුණ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සදහා අයිඑම්එෆ් එකේ ද සහාය ඇතිව අනුගමනය කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි. එහෙත් මේ ක්‍රියාවලියට ඉදිරි ජනපතිවරණය හමුවේ යම් බලපෑමක් ඇති විය හැකි ද? එහිදී අප නම් සිතන්නේ කවර අයෙක් ජනපති වුවත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අයිඑම්එෆ් එකේ ද සහාය ඇතිව අනුගමනය කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගටම අනුගමනය කිරීමට සිදුවනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා ද මේ ලියුම්කරු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව ද දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව ද ඒ සඳහා රජය හොඳ කාර්යභාරයක් කරමින් සිටින බව ද ඔහු කීවේය. ආසියානු සංවර්ධන බැංකුව දිගටම ශ්‍රී ලංකාවට ආධාර කරන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය. ඔහු මේ බව කීවේ පසුගිය අගෝස්තු 01 වැනිදා කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලයේ දී මේ ලියුම්කරු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජනපතිවරණය
ජනපතිවරණ උණුසුම දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. මේ ජනාධිපතිවරණයේ දී කතාබහට ලක්වෙන ප්‍රධාන සාධකය වී ඇත්තේ වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සහ ඒ සඳහා අනුගමනය කරන වැඩපිළිවෙළයි. 2022 වසරේ අපේ ආර්ථිකය කවුරුත් දන්නා පරිදි විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොලොත් තත්ත්වයට පත් විය. එයට හේතු වූ කරුණු කාරණා අප කොතෙකුත් සාකච්ඡා කර ඇත. ඒ ගැන නොයෙකුත් අයට නොයෙකුත් අදහස් තිබිය හැකි නමුත් 2022 දී රටේ ආර්ථිකය දරුණුතම ප්‍රපාතයකට ඇදවැටුණු බව අපි කවුරුත් දනිමු. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුයට අපට මුහුණ දීමට සිදු විය. එසේම මධ්‍යස්ථ ඕනෑම අයෙකු පිළිගන්නා කරුණක් වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හමුවේ වැටී තිබුණු ආර්ථිකය මේ වන විට කිසියම් ස්ථාවර තත්ත්වයකට ද පත්ව ඇති බවයි. මේ ගැන මහ බැංකු වාර්තාවේ (2023) සඳහන් වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය 2022 වසර තුළ මුහුණ දුන් උග්‍රතම ආර්ථික අර්බුදයෙන් අනතුරුව 2023 වසරේ දී යථා තත්ත්වයකට පත්වීමේ මාවතකට පැමිණි බවයි.

මෙසේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පත් වූ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් නායකත්වය ද අප අගය කළ යුත්තකි. අප සිතන්නේ ඔහුට පැවරුණු භාරකාරත්ව වගකීම මැනවින් ඉටු කිරීමට සමත් වූ බවයි. අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම සෙසු මැති ඇමැතිවරු ද මේ සඳහා දායක වූ අතර මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීමෙන් මහ බැංකු අධිපති වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් මහ බැංකුව ද ඊට දායක විය. ආණ්ඩුවේ කවර වැරදි තිබිය හැකි වුවත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා ගමන් කරමින් තිබෙන ප්‍රතිපත්ති දිශානතිය නිවැරදි එකකි. ඒ ගැන ද බොහෝ විවේචන නැතුවා නොවේ. එහෙත් මේ ලියුම්කරු සිතන්නේ එම ගමන් මාර්ගයේ තවදුරටත් රට ගමන් කළ යුතුව තිබෙන බවයි. අපට වෙන විකල්පයක් නැත. මේ සම්බන්ධයෙන් මහ බැංකු වාර්තාවේ (2023) මෙසේ සඳහන් වේ.

‘රජය සහ මහ බැංකුව විසින් මනා සම්බන්ධීකරණයකින් යුතුව කඩිනමින් ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන හා සමගාමීව සිදුවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මගින් සමස්ත සාර්ව ආර්ථික ස්ථායිතාව ශක්තිමත් කෙරිණි. යළි ස්ථාපිත වූ ස්ථායිතාවයේ ප්‍රතිලාහ අත්කර ගනිමින් ආර්ථිකය වර්ධන මාවතක් වෙත ගමන් කිරීම ආරම්භ විය.

මේ අනුව ආර්ථිකයේ දැවැන්ත පසුබෑම මේ වන විට ධන ආර්ථික වර්ධනයක් බවට පත්ව ඇත. එහෙත් මහ බැංකුව කියන්නේ මේ ආර්ථික ස්ථායිතාව ස්ථිරසාර ස්ථායිතාවක් බවට පත්කරගත යුතු බවයි. ඒ සඳහා කටයුතු නොකළොත් ඇතිවන්නේ කවර තත්ත්වයක් ද? නිසැක වශයෙන්ම බලවත් ආර්ථික අස්ථායිතාවක් ඇති වනු ඇත. ඒ නිසා ඉදිරි ජනපතිවරණයෙන් පසුව පාලකයන්ට මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඉදිරියට ගමන් කිරීමට සිදුවීම වැළැක්විය නොහැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත (උපුටාගැනීම ඉරිදා දිවයින)

Previous articleඡන්දෙට හොරෙන් සල්ලි හොයන්න ගිය NPP හොරු රැළක් කුවේට්හීදි අල්ලයි.!
Next articleජනපතිගේ සහායට උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ කිහිපයක් එක්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here