Site icon Newshub

දිවුලන්කඩවල සංගීත ප්‍රසංගයේ හානි සිදුකිරීමේ සිද්ධියට පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට!

පොළොන්නරුව මැදිරිගිරිය දිවුලන්කඩවල ක්‍රීඩාංගනයේ පසුගිය 14 වැනිදා පැවැති සංගීත ප්‍රසංගය අතරතුර එහි සිටි පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින්, සංගීත භාණ්ඩ ඇතුළු අනෙකුත් භාණ්ඩ වලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 06 දෙනෙක් අද ( 16) දහවල් මැදිරිගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කලහකාරී ලෙස හැසිරුණ පිරිස සංගීත භාණ්ඩ , පුටු , විදුලි පංකා සහ තවත් භාණ්ඩ රැසකට සිදුකළ හානිය රුපියල් කෝටි හතරකට වැඩි බව සංගීත ප්‍රසංගය සංවිධානය කළ සංවිධායක මණ්ඩලය පොලිසියට දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධව මේ වන විට පුළුල් විමර්ශනයක් සිදුකරමින් තිබෙන බවත් අද අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 25 – 28 වයස් කාණ්ඩවල පසුවන පොළොන්නරුව , මැදිරිගිරිය , දියුලන්කඩවල , මීගස්කඩවල වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

එදින සංගීත ප්‍රසංගය රාත්‍රී 1.30 පමණ වන විට පැමිණීමට නියමිතව සිටි සංගීතවේදීන් කිහිපදෙනෙක් හදිසියේ පැමිණීමට නොහැකි බව සංවිධායක මණ්ඩලයට දැන් දීමෙන් පසු සංගීත ප්‍රසංගය 1.30 පසු පවත්වාගෙන යෑමට නොහැකි බව සංවිධායක මණ්ඩලය නිවේදනය කිරීමත් සමඟ මෙම කළහකාරී සිදුවීම හටගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව මැදිරිගිරිය පොලිසියේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේ සිදුවූ අලාභය සම්බන්ධව මෙතෙක් අවසන් තක්සේරුවක් සිදු කර නැති බවයි.

Exit mobile version