Site icon Newshub

වැලිවේරිය වෙඩිල්ලත්: සංජීව – පත්මේ ගැටුමේ ප්‍රතිඵලයක් !

වැලිවේරියේ ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ මේ වන විට විදෙස්ගතව සැඟවී සිටින පාතාල කල්ලි අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ නමුත් එම තරුණයාට මෙතෙක් කිසිදු අපරාධ චෝදනාවක් එල්ල වී නොමැති බවද සඳහන් වෙයි.

ඒ අනුව පොලිසිය සැක කරන්නේ ගණේමුල්ල සංජීව ඝාතනයට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.

වැලිවේරිය, අරලියගහ හංදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9.10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුණි.

එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි විනෝත් දිල්ශාන් නම් තරුණයෙක්ය.

සංචාරකයන් ප්‍රවාහනය කරන මෝටර් රථයක් කුලී පදනම මත පදවන එම තරුණයාට, එම රථයේ හිමිකරු විසින් ඊයේ රාත්‍රියේ සංචාරකයෙකු ගාල්ල ප්‍රදේශයට රැගෙන යාම සඳහා වැලිවේරියට යන ලෙසට දැනුම් දී ඇත.

එලෙස පැමිණෙමින් සිටින අතරතුරදී මෙම තරුණයා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

මෙහිදී වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා තුවාල සහිතව මෝටර් රථය ගම්පහ රෝහල තෙක් පදවාගෙන ගොස් තිබෙන බවද වාර්තා වන අතර වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ අතකට එල්ල වී ඇති නමුත් බරපතළ තුවාල සිදුව නොමැත බව වාර්තා වේ.

පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version