Site icon Newshub

අලුත් ලැයිස්තුවෙන් බිමල් ඇනගෙන – මහින්ද සුද්ද වෙලා : සම්පූර්ණ නිවේදනය මෙන්න !

තමන් මීට පෙර කරන ලද පැහැදිලි කිරීමේ කරුණු තහවුරු වන ආකාරයට 2025 මාර්තු 12 වනදා සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක දත්ත සභාගත කිරීම සම්බන්ධව ස්තූතිය පළකරමින් හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

තමන් පෙන්වා දෙන කරුණු කිසිසේත් කිසිවෙකු අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් සිදු නොකරන බවත්,එය හුදෙක්ම ජනතාවට මීට වඩා හොඳින් හා ඵලදායි ලෙස කරුණු සන්නිවේදනය කිරීම වෙනුවෙන් කරන මග පෙන්වීමක් බවත් එම නිවේදනය මඟින් සඳහන් කර තිබේ.

” ඉන්ධන හා වාහන භාවිතය සම්බන්ධයෙන්ද මා පෙර කල ප්‍රකාශය තහවුරු කරමින් දත්ත ඉදිරිපත් කිරීම ගැන මා සතුටු වෙමි. මීට පෙර, එනම් පෙබරවාරි මස 27 වන දින මා විසින් වාහන 9ක් භාවිතා කළ බවත් ඒ සඳහා ලක්ෂ 334ක ඉන්ධන භාවිතා කල බවටත් කල ප්‍රකාශය හා අද දින කරණ ලද ප්‍රකාශයේ මා විසින් වාහන 8ක් භාවිතා කළ බවත් ඒ සඳහා ලක්ෂ 261ක ඉන්ධන භාවිතා කල බවටත් යන ප්‍රකාශයන් දෙකම නිවැරදි නොවන බවත්, මා සත්‍ය වශයෙන්ම වරකට භාවිතා කර ඇත්තේ පාර්ලිමේන්තුවෙන් ජනධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ ප්‍රකාරව ලබාදුන් වාහන 3ක් බවටත් තහවුරු කර ඇත (KU 5355 – නිල රථය, හා KT 6537, CAB 3079 යන පරිවාර රථ දෙක)” යනුවෙන් පෙන්වාදී තිබේ.

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය
2025 මාර්තු මස 12 වන දින පාර්ලිමේන්තුවේ ගරු සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද දත්ත සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම පිණිසයි.
ප්‍රථමයෙන් මා මීට පෙර කරන ලද පැහැදිළි කිරීමේ සඳහන් වූ කරුණු තහවුරු කරමින් දත්ත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු බිමල් රත්නායක අමාත්‍යතුමාට මාගේ ස්තූතිය පල කරනු කැමැත්තෙමි. එසේම එලෙස ඉදිරිපත් කල දත්ත වල සභාගත කල පිටපතක් මහජනතාවගේ දැනගැනීම පිණිස මෙම ලිපිය සමග අමුණා ඇත.

එහිදී මා පෙන්වා දුන් ආකාරයටම විශේෂ අමුත්තන්, විදේශ තානාපතිවරුන් හෝ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා සංග්‍රහ කිරීමට දරණ ලද වියදම් මාගේ පෞද්ගලික ආහාර වේල් සඳහා දැරීමට සිදු වූ වැය බරක් ලෙස මීට පෙර බිමල් රත්නායක මහතා කරන ලද ප්‍රකාශය සාවද්‍ය බව තහවුරු වි ඇත (ඇමුණුම බලන්න). එසේම එම වාර්ථාවේ නිල නිවස භාර කළමනාකරු විසින් ඉල්ලුම් කරන ලදැයි සඳහන් වියළි ද්‍රව්‍ය, වතුර, ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද මා කරුණු විමසන ලදී. එහිදී මා හට දැනගැනීමට ලැබුණේ අමුත්තන්ට සංග්‍රහ කිරීමට අවශ්‍ය තේ කොළ, සීනි, දියර කිරි, වතුර බෝතල් හා සිසිල් බීම ඊට ඇතුලත් වන බවයි. එහි සවිස්තර වාර්තාවක් මහජනතාවට දැනගැනීම පිණිස පල කරන ලෙසද මා බිමල් රත්නායක අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිමි.

නිල නිවසේ ගතකල මුළු කාලය පුරාවටම මාගේ ආහාර පාන සඳහා වියදම් කලේ මාගේ පෞද්ගලික මුදල් බව මා නැවතත් ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි. එසේම මා දන්නා තරමින් වර්ථමාන කථා නායකවරයා නිල නිවසේ පදිංචි නොමැති බැවින්, යම් වියදම් සැසඳීමක් කරන්නේ නම්, එය අතීතය සමග හෝ වර්ථමාන කථානායකවරයා නිල නිවසේ පදිංචි වන අනාගත කාල වකවානුවක් සමග කලයුතු බවට ද පෙන්වාදෙනු කැමැත්තෙමි. එසේම වර්ථමාන කථානායකවරයාගේ බොහොමයක් වියදම් එතුමන්ලාගේ පක්ෂ අරමුදල තුළින් ලබාදෙන මහජන මුදල් වලින් හෝ හිතවතුන්ගේ ආධාර තුලින් සිදුවන බවට ප්‍රකාශිත බැවින් හා එම ප්‍රමාණ කොපමණ දැයි ප්‍රකාශ නොවන පසුබිමක, එය මා සමග සංසන්දනය කිරීම නිෂ්ඵල මෙන්ම අසාධාරණ ක්‍රියාවලියක් බවටද පෙන්වා දෙනු කැමැත්තෙමි.

එසේම ඉන්ධන හා වාහන භාවිතය සම්බන්ධයෙන්ද මා පෙර කල ප්‍රකාශය තහවුරු කරමින් දත්ත ඉදිරිපත් කිරීම ගැන මා සතුටු වෙමි. මීට පෙර, එනම් පෙබරවාරි මස 27 වන දින මා විසින් වාහන 9ක් භාවිතා කළ බවත් ඒ සඳහා ලක්ෂ 334ක ඉන්ධන භාවිතා කල බවටත් කල ප්‍රකාශය හා අද දින කරණ ලද ප්‍රකාශයේ මා විසින් වාහන 8ක් භාවිතා කළ බවත් ඒ සඳහා ලක්ෂ 261ක ඉන්ධන භාවිතා කල බවටත් යන ප්‍රකාශයන් දෙකම නිවැරදි නොවන බවත්, මා සත්‍ය වශයෙන්ම වරකට භාවිතා කර ඇත්තේ පාර්ලිමේන්තුවෙන් ජනධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ ප්‍රකාරව ලබාදුන් වාහන 3ක් බවටත් තහවුරු කර ඇත (KU 5355 – නිල රථය, හා KT 6537, CAB 3079 යන පරිවාර රථ දෙක) (ඇමුණුම බලන්න). මා වෙත ලබාදී ඇති වාහන තුනෙන් යම්කිසි වාහනයක් අබලන් වූ විට ඒ සඳහා තාවකාලිකව වෙනත් වාහනයක් අනුයුක්ත කර ඇත (KQ 0716 හා KV0281). එම ලයිස්තුවේ සඳහන් අනෙකුත් රථ (KH 0943, KH 0942, හා KH 0934), පොලිස් දෙපාර්තුමේන්තුවට අයත්, ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් විවිධ අවස්ථාවන් වලදී පොලිස් නිලධාරීන් මාර්ග රාජකාරි සඳහා භාවිතයට ගත් සංඥා පහසුකම් සහිත පෙරගමන් රථ බවටද දක්වා ඇත. එසේම ඇමුණුමේ දක්වා ඇති NC 4923 දරන රථය මාධ්‍ය ඒකකය විසින් භාවිතා කරන ලදී.

කරුණු එලෙස පැහැදිලිව සඳහන් කර ඇති අවස්තාවක, එම සියලු වාහන සඳහා 2024.01.01 දින සිට 2024.09.24 දින දක්වා ලබා දුන් මුළු ඉන්ධන ප්‍රමාණය සමස්තයක් ලෙස ගණනය කරමින් වියදම් වාර්තා ඉදිරිපත් කොට ඇති අතර (ඇමුණුම බලන්න), මවිසින් එක විට වාහන 09ක් බාවිතා කොට ඇතැයි හැඟී යන පරිදි කල ඇති ප්‍රකාශය ද එමගින් සාවද්‍ය වේ. මා එකී සියලු වාහන භාවිතා නොකළ බවට ඔබ විසින්ම සභාගතකල දත්තයන් තහවුරු කරන බැවින්, ඔබගේ එම නොමග යවන සුළු ප්‍රකාශය ගැන මා කණගාටුව ප්‍රකාශ කරමි. මා වෙත තාවකාලිකව අනුයුක්ත කරන ලද වාහන සඳහා ඉන්ධන වියදම් ගණනය කිරීමේ දී එම අදාල කාලසීමාව සඳහා පමණක් ඉන්ධන වියදම් ගණනය කිරීම වඩා සාධාරණ වන බැවින්, 2024.01.01 දින සිට 2024.09.24 දින දක්වා ලබා දුන් මුළු ඉන්ධන ප්‍රමාණය යනුවෙන් සඳහන් කිරීමෙන්, එම ගණනය කිරීම නිවැරදි දැයි මහජනතාව තුල සැකයක් ද ඇති විය හැක.

එසේම මෙම විශ්ලේෂණය වැඩිදියුණු කිරීමට මා පෙන්වා දෙන කරුණු කිසිසේත් කිසිවෙකු අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් සිදු නොකරන බවත්,එය හුදෙක්ම ජනතාවට මීට වඩා හොඳින් හා ඵලදායි ලෙස කරුණු සන්නිවේදනය කිරීම වෙනුවෙන් කරන මග පෙන්වීමක් බවත් සඳහන් කරනු කැමැත්තෙමි. ඉහතසඳහන් කාරණා සම්බන්දයෙන් යම්කිසි අක්‍රමිකතාවයක් සිදුව ඇත් නම්, ඊට උචිත පරිදි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසටද දන්වා සිටිමි.
විපක්ෂයේ සිටියදී සඳහන් කල සියලු සටන් පාඨ, ඉල්ලීම්, න්‍යායන්, තර්ක, හා ආර්ථික විසඳුම් ප්‍රයෝගික ආණ්ඩුකරණයේදී කල නොහැකි බව ඔබතුමන්ලා විසින් ඔප්පු කල අවසන් බැවින් හා ජනතාව ඒ බව අවබෝධ කරගෙන ඇති අවස්ථාවක, තවදුරටත් අසත්‍ය පවසමින් ජනතාවගේ අවධානය නොමග යැවීමට අවශ්‍ය නොවන බව මාගේ විශ්වාසයයි. අවශ්‍ය වන්නේ සාර්ථක ආණ්ඩුකරණයක් තුලින් රට සංවර්ධනය කර ජනතාව දිනාගැනීමයි. ඔබ බලයට පත්වීම නිසා නැවත කිසි දිනක කිසිම පක්ෂයකට පැරණි සටන් පාඨ භාවිතා කරමින්, ප්‍රකෝටි ගණන් මහජන දේපළ විනාශ කිරීමට, මනුෂ්‍ය ඝාතන කිරීමට, හෝ රාජ්‍ය සේවය අකර්මන්‍ය කිරීමට නොහැකිවනු ඇත. මා එය දකින්නේ 76 වසරක් පුරාවට මේ රටේ ඉදිරි ගමනට බාධා කල අන්ත වාමාංශික ශාපයේ අවසානය ලෙසයි. ඒ පිලිබඳ පුර්ණ ගෞරවය ඔබතුමා ප්‍රමුඛ රජයට හිමි විය යුතු අතර, එය ඔබ පක්ෂයේ මෙන්ම රටේ ද විශාල ජයග්‍රහණයකි!

ගරු අමාත්‍යවරයා ප්‍රමුඛ රජය විසින් අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් සඳහන් කරමින් මාගේ මෙම ස්තූති ලිපිය අවසන් කරමි.
හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු ලෙස පසුගිය කාලය තුල ඇති වූ සහල් හිඟය සම්බන්ධයෙන් මා ඉතා අවධානයෙන් බලා සිටි අතර, මෙම ලැබුන අවස්ථාවෙන් ඔබතුමන්ලා ප්‍රමුඛ රජයට ඉදිරියට ඇති විය හැකි තත්වයන් සම්බන්ධයෙන් පෙර සූදානම් වීමට දැනුවත් කිරීම මාගේ යුතුකමක් යැයි හැඟෙන බැවින් මා පහතසඳහන් කරුණු ඔබගේ කාරුණික අවධානයට යොමු කරමි. වර්ථමානයේ අස්වනු නෙළීමත් සමග සහල් මිළේ යම් අඩු වීමක් තිබුනද, පසුගිය වසර අවසානයේ උතුරුමැද හා නැගෙනහිර පළාත් වලට ඇති වූ ගංවතුර තත්වය නිසා, ඉදිරි මාස කිහිපය තුල සහල මිල පසුගිය සමයේ ගිය උපරිම (350-360) මිලටත් වඩා ඉහල යාමේ අවදානමක් මා දකිමි.

ලෝකය පුරා ක්‍රියාත්මක ලා – නිනා තත්වය නිසා ඉදිරියේදී වර්ෂාපතනයේ වැඩි වීමක් අපේක්ෂා කල යුතු අතර, එබැවින් ඉදිරි කන්නයේ අස්වනු අඩු වීමක් ද සිදුවිය හැක. එපමණක් නොව අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර පාන වලද මිල වැඩිවීමක් සිදු විය හැක. සංචාරක සමය අවසන් වීම, ආනයන වියදම් ඉහල යාම හා අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෑත රුපවාහිනී වැඩ සටහනකදී සඳහන් කල ආකාරයට අපනයන සේවා බද්ද හේතුවෙන් විදේශ ප්‍රේෂණ අඩු වීමක් ද සිදු වුවහොත්, අප්‍රේල් මාසයෙන් පසු රුපිය ලද අවප්‍රමාණය වීමේ හැකියාවක් පවතී. මේ සියලු කරුණු එක් වීමෙන් ඉදිරි මාස කීපය තුල උද්ධමනය විශාල ලෙස ඉහල යා හැක. මෙම වසරේ දෙවන කාර්තුවේදී උද්ධමනය ඉහල යා හැකි බවට ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ද අනතුරු අඟවා ඇත. එබැවින් මේ පිලිබඳ ඔබගේ අවධානය යොමු කර කඩිනමින් ඊට සූදානම් වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මහින්ද යාපා අබේර්වධන
හිටපු කථානාය

Exit mobile version