Site icon Newshub

අදානි ඉදිරියේ ආණ්ඩුව දණ ගහන ලකුණු !

මීට පෙර ලබදුන් මිල ගණන් වලට එකඟ නම් මෙගා වොට් 484 ක මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව අදානි ග්‍රීන් එනර්ජි ලංකා සමාගම බලශක්ති අමාත්‍යංශයට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ සිදුකළ දීර්ඝ සාකච්ඡාවකට පසුව ගාස්තු පිළිබඳව ලංකා රජයේ අනුමැතිය ලැබෙන තෙක් මෙගා වොට් 484 ක සුළං පුනර්ජනනීය විදුලි උත්පාදන ව්‍යාපෘතිය සහ, කිලෝ වෝල්ට් 220 සහ 400ක සම්ප්‍රේෂණ ජාලකරණ පුළුල් කිරීමේ ව්‍යාපෘති 2 ඇතුළු ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ සබඳතා අති නවීන තාක්ෂණය යොදා ගනිමින් අවසන් කිරීමට තම සමාගම උත්සාහ කළ බවද මේ සමඟ දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධව නව රජයේ තීරණය දැනුම්දෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියත්, ඒ පිළිබඳව කිසිඳු නිල සන්නිවේදනයක් රජය පාර්ශ්වයෙන් නොලැබීම හේතුවෙන් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වෙන්න තීරණය කළ බවද අදානි ග්‍රීන් එනර්ජි ලංකා සමාගම මෙරට බලශක්ති අමාත්‍යංශයට වැඩිදුරටත් දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් අදානි සමාගම අදාළ ව්‍යාපෘතිය හකුලාගෙන යාමත් සමඟ ජාතික ජනබලවේගය ආණ්ඩුවට හිතෛෂි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්ව ප්‍රචාරයක් දියත් කර සිටියේ, ” අදානි ගියා නෙවෙයි , යැව්වා ” කියමිනි.

එහෙත් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා තිබුණේ, අදානි ව්‍යාපෘතිය මුළුමනින්ම අවසන් කර නොමැති බවත් යළි අවස්ථාව ලබාදීම වෙනුවෙන් අදානි සමාගම දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

Exit mobile version