Site icon Newshub

දේශබන්දු ප්‍රාතිහාර්ය පායි : පාර කියන මාලිමා අක්‍රීයයි !

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම අද (10) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තරකරුවන්ට නොතිසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙසය.

2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම W15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මියගියේය.

මියගිය පොලිස් නිලධාරියා ඇතුළු අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිස නීති විරෝධි ආකාරයට මෙකී මෙහෙයුම සඳහා සහභාගීව ඇති අතර, මීට අදාළව පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් එකී කටයුත්ත සඳහා සම්බන්ධව ඇති බව අනාවරණය කර ගැනීමෙන් පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට නියෝග කර තිබිණ.

අධිකරණ නියෝගය: 2025 පෙබරවාරි 28 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර සිටියදී ඊට අදාළ චෝදනාව වූයේ “මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම” යි.

ඒ සමඟම, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විදේශගත වීම වළක්වාලමින් අධිකරණය විසින් තහනමක් ද පනවා තිබෙන පසුබිමේ දින 11 කට ආසන්න කාලයක් ඔහුව අත්අඩංගුවට ගැනීමට අසමත්වීම සම්බන්ධව දැඩි විවේචනයක් එල්ලවී තිබේ.

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධව ගවේෂණාත්මක මාධ්‍ය කටයුතු සිදුකළ මාධ්‍යවේදින් අනාවරණය කර තිබුණේ ඔහු සම්බන්ධව නඩු 70කට අධික ප්‍රමාණයක් ඇති බවයි. එසේම විදෙස් හී දේශපාලන සරණාගත රැකවරණ ලබා සිටින මාධ්‍යවේදින් කිහිපදෙනෙකු දේශබන්දු තෙන්නකෝන් කිසියම් දේශපාලන බලපුළුවන්කාරකමක මැදිහත්වීම මත සඟවා ඇති බව සඳහන් කෙරිණි.

නමුත් , පසුගිය පැවති ආණ්ඩුවල දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව සමාජ මාධ්‍ය තුළ නිතර සිහිපත් කරන ජාතික ජනබලවේගය පක්ෂයේ දේශපාලන හිතවත්කම් ඇතිකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිසිවෙක් මේ සම්බන්ධව අදහස් දැක්වීමක් සිදු නොකිරීම ගැනද විවේචන එල්ලවෙමින් තිබේ.

“මේ ආණ්ඩුව වැරදි කළොත් මුලින්ම එළියට බහින්නේ අපි” කියූ පිරිස්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ හාස්‍යට බඳුන්ව සිටින තත්ත්වයක් නිරීක්ෂණය වෙයි.

දේශපාලන විචාරකයන් පවසන්නේ නීතියේ ආධිපත්‍යය සහ නව දේශපාලන සංස්කෘතියක් ගැන වත්මන් ආණ්ඩුව පොරොන්දු දුන්නද එය තෝරාගත් සිදුවීම් වලදී යථාර්ථයෙන් බොහෝ දුර බව මේ හරහා ප්‍රදර්ශනය වීම ආණ්ඩුවේ දේශපාලන අනාගතයට හානිකරන බවයි

Exit mobile version