Site icon Newshub

කාන්තා දිනය සමරන අද ගුරුවරියකට පහරදීම ගැන පාර්ලිමේන්තුවේ ඇසුන දුක හිතෙන කතාව

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තා සතියක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ඇඹිලිපිටිය හල්මිල්ල විද්‍යාලයේ ගුරුවරියකට විදුහල්පතිනිය ඉදිරියේ ගුරුවරයෙකු පහරදීම හේතුවෙන් එම ගුරුවරිය ප්‍රතිකාර සඳහා අද ( 08) පෙරවරුවේ රෝහල් ගතකර ඇත.

ගුරුවරියට පහරදීමේ පහත් ක්‍රියාව තමාටද දැනගැනීමට ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධව තමන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමැති අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ ගුරුවරයෙක් ගුරුවරියකට පහර දීමේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීනි චතුරි ගංගානි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

” ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතක ඊයේ දිනයේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ඇඹිලිපිටිය හල්මිල්ල විද්‍යාලයේ ගුරුවරියකට ගුරුවරයෙක් විසින් පහර දීමක් සිදු කර තිබෙනවා.

මේ පහර දීම සිදුව තිබෙන්නේ විදුහල්පති තුමිය ඉදිරිපිට දී බව වාර්තා වෙනවා. ඒ වනවිට ගුරුවරිය නීතියානුකූල පසුබිම තුළ ලොක් සටහනක් දමා අද රෝහල්ගතව තිබෙනවා.

ජාතික කාන්තා දිනය වෙනුවෙන් කාන්තා සතියක් ප්‍රකාශයට පත්කර තිබුණත් කණගාටුවට කාරණාව තමයි මෙවැනි මොහොතක උනත් මේ තරම් දැවැන්ත හිංසනයකට ලක්වන්නට ලැබීම.අගමැති තුමිය මේ සිද්ධිය පිළිබඳව ඔබතුමිය දැනුවත්ද…? මේ සම්බන්ධව ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද…? එය මේ ගරු සභාවට දන්වන ලෙස මා ඉල්ලා සිටිනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි චතුරි ගංගානි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියාය.

” අද උදේ තමයි මේ සිද්ධිය වාර්තා වුනේ. ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා තවත් තොරතුරු තියෙනවා නම් අදම මේ පාර්ලිමේන්තුව දැනුවත් කරනවා”….යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊට පිළිතුරු දෙමින් පැවසුවාය.

Exit mobile version