Site icon Newshub

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර පොලිසිය මඟහරී

රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස්කර අධික මුදලකට අලවි කළ බව කියන සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරින් කණ්ඩායමක් නිවසට යන විට ඔහු ඔවුන් මගහැර නිවසින් පලා ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

හිටපු රාජ්‍ය ඇමතිවරයා පලායන අවස්ථාවේ නිවසේ සිටි ඔහුගේ බිරිඳගෙන් සහ රියදුරුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව එම නිලධාරියා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනිදා තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රජයට අයත් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමකට හොර ඔප්පු සකසා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු.ව්‍යාපාරිකයකු. නීතිඥයෙකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් කණ්ඩායම් හයක් යොදවාඇති බව ඉහත පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version