ලබන 15 වැනිදා සත්ව සංගණනයක් සිදු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා දිගින් දිගටම ප්‍රකාශ කලත් පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහතා පවසන්නේ එදින සිදු කෙරෙන්නේ සත්ව සංගණනයක් නොව දත්ත ලබාගැනීමේ සරල සමීක්ෂණයක් බවයි.
නිසි සැලසුමක් නොමැතිව ක්‍රියාත්මක කර ඇති මෙම සංගණනය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවට පමණක් මේ වන විට රුපියල් හත් කෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් වැය කර ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද අනාවරණය කළේය.
මෙම සංගණනය සම්බන්ධව ආණ්ඩුව මෙතෙක් එක මතයකට පැමිණ නැති අතර ආණ්ඩුවේම බොහෝ දෙනෙක් පවසන්නේ මෙය නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිවරයාගේ වුවමනාවකට සිදුකරන කරන මුදල් කාබාසිනියා වැඩසටහනක් බවයි.
සත්ව සංගණනය ග්‍රාම සේවා නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදුකරන බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළ ද, සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද ප්‍රකාශ කළේ එවැනි වැඩසටහනක් සම්බන්ධව මෙතෙක් ග්‍රාම නිලධාරීන් දැනුවත් කර නැති බවයි.
මේ සම්බන්ධව අදහස් දැක්වූ සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති බි.එම් තීක්ෂණ මහතා ප්‍රකාශ කළේ සත්ව සංගණනයක් පිළිබඳව තමා දැනගත්තේ මාධ්‍යයෙන් බවත් අද වන තෙක් එවැනි සංගණනයක් පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නැති බවත්ය.
මෙම සංගණනය ග්‍රාමසේවා නිලධාරි මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ එහි නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළද එවැනි සමීක්ෂණයකට ග්‍රාම සේවා නිලධාරීන් මෙතෙක් සූදානම් නැති බව ඒ මහතා සඳහන් කළේය.
එවැනි පසුබිමක් තුළ සංගණනයක් පවත්වා එහි අසාර්තකත්වය ග්‍රාම නිලධාරීන් මත පටවනවාට තම සංගමය විරුද්ධ බවත් මේ සඳහා කෘෂි නිලධාරීන් මූලික කරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් තීක්ෂණ මහතා වැඩිදුරටත් පැවසීය.