Site icon Newshub

අනුරාණ්ඩුවේ අයවැය හංගලා ගැහිල්ලක් : ධන කුවේරයන්ට මහා සහනයක් දීලා !

රජයට ගෙවිය යුතු හිඟ ආදායම් බදු මාස හයක් ඇතුළත ගෙවන්නේ නම් ඊට අදාළ පොලියෙන් සහ දඩ මුදලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ වංචනික ධනකුවේරයන්ට තවත් සහන දීමේ  සූදානමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරයි.

මෙවර අයවැය ලේඛනයේ තාක්ෂණික කරුණු වලට අදාළ කොටසේ 1.9 වගන්තියේ සඳහන් වන පරිදි 2022 -2023 අතර කාලය දක්වා නොගෙවන ලද බදු මාස හයක් ඇතුළත ගෙවන්නේ නම් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ සහ 2022 අංක 14 දරන බදු පනතේ සඳහන් වන හිඟ බදු මුදල් සඳහා වන ප්‍රතිපාදන අදාළ නොවේ යනුවෙන් සඳහන් කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පවසා සිටියේ ඊයේ (28) සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .

ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක කළහොත් රජයට අය විය යුතු හිඟ ආදායම් බදු මුදලට අදාළව පොලිය වන රුපියල් බිලියන 500ක පමණ මුදලක් රජයට අහිමිවන බවද ඔහු පෙන්වාදෙයි .

එසේම ලංකාවේ පවුල් ලක්ෂ 58ක් සිටින අතර ඒ එක් පවුලක් මාසිකව ආසන්න වශයෙන් රුපියල් 40000ක් බදු ලෙස ගෙවමින් සිටින නමුත් මෙරට ධන කුවේරයන් බදු ගෙවා නැති බවද ඔහු පැවසීය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙසේද පැවසීය .

අපි අද මාධ්‍ය හමුව කැඳවන්න හේතු වුණේ මෙවර අයවැයේ බදු ප්‍රතිපත්තිය සකස් කිරීමේදී සිදු වෙච්ච ඉතාම බරපතළ ජනතාද්‍රෝහී ක්‍රියාවක් ගැන සමාජය දැනුවත් කරන්න.  අපි දන්නවා ආණ්ඩුව මේ වෙද්දි භාණ්ඩ හා සේවා මත පනවපු අධික බදු නිසා සාමාන්‍ය ජනතාවට විශාල බරක් පැටවිලා තියනවා. ලංකාවේ පවුල් ලක්ෂ 58ක් ඉන්නවා. ඒ එක පවුලක් මාසිකව රුපියල් 40,000කට ආසන්න බදු ප්‍රමාණයක් රජයට ගෙවන්න ඕන. හැබැයි ලංකාවේ ඉන්න ධනකුවේරයෝ පසුගිය කාලෙ ම තමන්ගේ ආදායම් බදු ගෙවලා නෑ. විශාල බදු ප්‍රමාණයක් ඔවුන් වංචා කරලා තියනවා. දැන් එහෙම තත්ත්වයක් ඇතුළෙ ආණ්ඩුව සූදානම් වෙනවා ඒ වංචනික ධනකුවේරයන්ට තවත් සහන දෙන්න.ලංකාවේ නීතියට අනුව රජයට ගෙවිය යුතු බදු නොගෙවා වංචා කළොත් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා එයට අදාළව නිශ්චිත දඩ මුදලක් සහ පොලියක් ගෙවන්න. හැබැයි ආණ්ඩුව මේ වෙද්දි සූදානම් වෙනවා ඒ දඩ මුදල සහ පොලිය කපා හරින්න. ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිවරයාගේ අයවැය ලේඛනයේ තාක්ෂණික කරුණුවලට අදාළ කොටසේ 1.9 වගන්තියේ සඳහන් වෙනවා 2022 – 2023 අතර කාලය දක්වා නොගෙවපු බදු මාස 6ක් ඇතුළත ගෙවනවනං 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ සහ 2022 අංක 14 දරණ බදු පනතේ සඳහන් වෙන හිඟ බදු මුදල් සඳහා වන ප්‍රතිපාදන අදාළ වෙන්නෙ නෑ කියලා.ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී ක්‍රියා2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනතේ 157 වගන්තියේ සහ  කියන විදිහට බදු ගෙවන පුද්ගලයා නියමිත බදු නොගෙව්වොත් ඒ සඳහා නියමිත පොලියක් ගෙවන්න ඕන. 159 වගන්තියේ නිශ්චිතවම සඳහන් වෙනවා මාසෙකට 1.5%ක පොලියක් අයකරගත යුතුයි කියලා.  ඒ කියන්නේ අවුරුද්දකට 18%ක පොලියක් ගෙවන්න ඕන. මීට අමතරව 25%ක දඩ මුදලක් ගෙවන්න ඕන. දැන් අයවැය අනුව කියන්නේ පනත අදාළ නෑ මේ අයකරගත යුතු මුදල ආණ්ඩුව අයකරගන්නෙ නෑ කියල ද? අපි උදාහරණයක් ගත්තොත් මෙන්ඩිස් සමාගම සුරාබදු හැරුණාම රුපියල් බිලියන 1.5ක් ආදායම් බදු නොගෙවා වංචා කරලා තියනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 150ක මුදලක්.එතකොට මේකට අවුරුද්ට 18%ක ගණනේ පොලිය ගණං හදලා බැලුවොත් අවුරුදු පහකදි රජයට ලැබෙන්න ඕන 90%ක විතර විශාල පොලියක්. ඒ කියන්නේ මේ සමාගම නොගෙවපු බදු සඳහා තව කෝටි 100ක විතර පොලියක් ගෙවන්න ඕන හරි නම් රජයට. හැබැයි දැන් ආණ්ඩුව කියන්නේ ඒ කෝටි 100ක පොලිය අපිට එපා නොගෙවපු බදු කෝටි 150 විතරක් ගෙවන්න කියලා. මේ කරන්න හදන ජනතා ද්‍රෝහී ක්‍රියාවෙන් කෝටි ගාණක් රජයට අහිමි වෙන්න නියමිතයි.මේ ප්‍රතිපත්ති කවුරු සතුටු කරන්න ද…?
2023 මාර්තු ඉඳලා 2024 දෙසැම්බර් දක්වා විතරක් සමාගම් වංචා කරපු බදු ප්‍රමාණය රුපියල් බිලියන 243ක්. පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාව කියන විදිහට රුපියල් බිලියන 1068ක් තියනවා නොගෙවපු බදු. එතකොට මේවට මේ සමාගම් රුපියල් කෝටි 40,000ක් 50,000ක් අතර පොලියක් රජයට ගෙවන්න ඕන. එතකොට මේ විශාල ආදායමක් තමයි ආණ්ඩුව අහිමි කරගන්න සූදානම් වෙන්නේ. මේ කවුරු සතුටු කරන්න ද ආණ්ඩුව මෙහෙම ප්‍රතිපත්ති ගේන්නෙ? සාමාන්‍ය ජනතාව මත ගන්න හාල් පොල් සීනි ටිකේ ඉඳලා අධික බද්දක් ගහලා තියෙන්නේ. ළමයින්ගේ පාසල් උපකරණවලට විශාල වැට් බද්දක් ගහල තියෙන්නේ. ඒවා එක දශමයක් අඩු කරලා නෑ. හැබැයි කූට ව්‍යාපාරිකයන්ට කෝටි ගාණක සහන දෙන්න ආණ්ඩුව සූදානම් වෙනවා.  එක්කෝ ආණ්ඩුව නිශ්චිතව රටට කියන්න ඕන අපි යන පාර තමයි මේ. අපි රජයක් විදිහට චෞර ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න පෙනී ඉන්නවා කියලා. එහෙම නැත්තං කියන්න ඕන එක්කෝ අනේ ජනාධිපති තුමා දන්නෑ ඔහු නොදැන තමයි අයවැය හදපු අය මෙහෙම වගන්තියක් අයවැය ලේඛනයට දාලා තියෙන්නේ කියලා. එතකොට ජනතාවට තීරණයක් ගන්න පුළුවන් මේ වංචාවට එරෙහිව ජනතාව විදිහට ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද කියලා.’

Exit mobile version