Site icon Newshub

තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබාදීම වහා නතර කරන්න – චීනය ඇමෙරිකාවෙන් ඉල්ලයි

චීනයේ තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබාදීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය දා ඇමරිකානු ඩොලර් බිලියන 5.3ක ආධාර මුදල් ඩොනල්ඩ් ට්‍රම්ප් රජය නිදහස් කර ඇති අතර චීන තායිවාන ප්‍රදේශයට ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 870 ක යුද ආධාර ද ඊට ඇතුළත් වේ.

ඇමරිකාව චීන තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබාදීම, එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව චීනය පවසයි. එබැවින් තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබාදීම නතර කරන ලෙසත්, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සාමය හා ස්ථාවරත්වය විනාශ නොකරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳව සමීපව අවධානය යොමු කරමින් චීනය සිය රටේ ස්වාධිපත්‍යය ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Exit mobile version